ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඉහත කරුණ සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි දිනපතා පුවත්පතක පළ වූ ලිපිය හා බැ‍ඳේ. 

ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ ‍නො මග යවන සුලු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

  1. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත සමාගම් සහ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් වන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ගෙනෙන ලද යෝජනාව සඳහා තැන්පත්කරුවන්ගේ යහපත පිළිබඳ ව සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය පල කරන ලදී.  එම යෝජනාවේ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ කොටස් විකිණීම පිළිබඳ සඳහන් වී නො තිබිණි.
  2. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද එක ම යෝජනාව වූයේ විදේශීය සමාගමක් වන බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගමට ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් විකිණීමට වන බැවින් එම ගණුදෙනුව අනුමත කිරීමේ දී දේශීය ආයෝජකයෙකුට අවසර දීම යන කරුණු පැන නො නැගිණි.  ආයෝජකයින් විසින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ උනන්දුව ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රකාශ කළ අවස්ථාවල දී, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එම වත්කම්වල හිමිකරුවා වන බැවින් ඔවුන් සමඟ සෘජු ව ම සාකච්ඡා කරන ලෙස ආයෝජකයින් වෙත උපදෙස් ලබා දෙන ලදී.
  3. ටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරන ලද පුවත්පත් නිවේදනයේ සඳහන් පරිදි නියාමනයට ලක් වන ආයතනයක වත්කම් විකිණීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම, අදාළ නීති සහ රෙගුලාසිවලට යටත් ව අවශ්‍ය නියාමන අනුමැතීන් ප්‍රදානය කිරීමට පමණක් සීමා වේ.  අරමුදල් ප්‍රභවය ඇගැයීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව සෑහීමකට පත්වීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුව එම ගනුදෙනුව අනුමත කරන ලදී.  තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිල දී ගැනීමට කිසිදු ආයෝජකයෙකුට පහසුකම් සැලසීමක් සිදු කර නොමැත. 
  4. අදාළ නීති සහ රෙගුලාසිවලට යටත් ව නීත්‍යනුකූල මාර්ග හරහා අරමුදල් ප්‍රේෂණය කරන ලද බවට තහවුරු කර ගැනීමෙන් අනතුරු ව අදාළ බැංකු විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් විකිණීම හා සම්බන්ධ ක්‍රියාමාර්ග සිදු කර ඇත.  අනුමැතිය ප්‍රදානය කරන ලද අ‍වස්ථාවේ හෝ අරමුදල් වාරික ලැබෙන අවස්ථාවල දී හෝ ‍ජාත්‍යන්තර වශයෙන් අසාදුගත ආයතනයක් ගනුදෙනුව සඳහා සම්බන්ධ වී ඇති බවට කිසිදු විශ්වසනීය තොරතුරක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව නො පැවතුනු බව දන්වමු.  
  5. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්  නො වන ආයතනවල හිමිකම් පිළිබඳ ඇගැයීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැත. 
  6. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ගත් කළ, ආයතනයේ හිමිකම වෙනස් කිරීමේ දී විශේෂිත නියාමන අනුමැතීන් අවශ්‍ය ‍වේ.  ඒ අනුව, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය එ වන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ වෙනුවෙන් කො‍න්දේසි සහිත අනුමැතියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇත.  එම යෝජනාවේ සඳහන් පරිදි යෝජිත හිමිකරු මෙ රට සංස්ථාපිත සමාගමකි. 
  7. වත්මන් ගැනුම්කරුවා හට ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 05 ලබා දීමට නො හැකි වුවහොත් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය රඳවා ගනු ඇත.  එ වැනි තත්වයක් යටතේ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සලකා බලමින් සිටී. 
  8. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් සහ එහි අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් නියාමන ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක්‍ ලෙස ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව යෝජනා කරන ලදී.  ආයතනය සහ ගැනුම්කරුවා අතර අදාළ වත්කම් විකිණීම සඳහා ගිවිසුමකට එළඹ ඇත.  කිසියම් අවස්ථාවක ගිවිසුමේ කොන්දේසි කඩවුවහොත්, ගිවිසුමේ සඳහන් පරිදි යෝග්‍ය ක්‍රියාමාර්ග ආයතනය විසින් ගනු ඇත. 
  9. 2019.02.11 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ පුවත්පත් නිවේදනයේ පැහැදිලි ව සඳහන් කර ඇති පරිදි, ගනුදෙනුවේ කොටසක් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ක මුදලක්  එ නම්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 6.4 ක් ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ තැන්පතු මුදලින් 20% ක ප්‍රමාණයක් නැවත ගෙවීම සඳහා උපයෝජනය කර ඇත. සියලු ම මුදල් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත සෘජු ව ම ලැබී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු.  අදාළ පුවත්පත් ලිපියේ සඳහන් ව ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙම ගනුදෙනුවේ කිසිදු කොටසක් ලැබී නොමැත.
  10. ඊටීඅයි ‍ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ආයෝජකයෙකු සලකා බලමින් සිටි බව රහසිගත කරුණක් නො වේ.  ඒ බව ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් 2018.01.02 දිනැති ශ්‍රී ලංකා මහ බැංකු පුවත්පත් නිවේදනයේ ද දක්වා ඇත.  1949 අංක 58 දරන මුදල් නීති පනතේ 45 වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූල ව මේ සම්බන්ධ තොරතුරු වරින්වර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැන ගැනීමට සලස්වා ඇත.
  11. ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපද ඩොලර් මිලියන 17 ක් පාඩු වී ඇති බව අදාළ ලිපියේ දන්වා ඇත.  ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගමක් වන බැවින් අදාළ ගනුදෙනුව සාර්ථක වීම හෝ නො වීම මත ශ්‍රී ලංකා රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නො වන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි. 
  12. නියාමනයට ලක් කෙරෙන ආයතන සහ ආයෝජකයින් අතර සිදු වන සාකච්ඡා සඳහා ‍ශ්‍රී ලංකා මහ බැංකුව සෘජු මැදිහත් වීමක් සිදු නො කරන බව නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.  ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම හුදෙක් ම තැන්පත්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරිම සඳහා වේ.  මෙම ගනුදෙනුව ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය සමඟ වන අතර මෙහිලා, ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වූයේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් සලකා බලා අදාළ වත්කම් සඳහා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමට ය.  

සාවද්‍ය තොරතුරු රටේ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ සෘණාත්මක ආකල්ප ගෙන දීමට හේතු වන බැවින්, මහජනතාව වෙත සපයන තොරතුරු, තහවුරු කර ගැනීමකින් අනතුරු ව පළ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියි.  

 

 

Published Date: 

Friday, February 15, 2019