මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 පෙබරවාරි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b) 2014 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 13.4 හා සැසඳීමේ දී 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 17.8ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික වර්ධනය තවදුරටත් ඉහළ යමින් 2014 වසරේ දෙසැම්බර් පැවැති සියයට 8.8ක වර්ධනයට සාපේක්ෂ ව 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 25.1ක් විය. 2015 වසර තුළ දී පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ සමස්ත වැඩිවීම 2014 වසරේ පැවැති රුපියල් බිලියන 223.9 හා සාපේක්ෂ ව රුපියල් බිලියන 691.4 ක් විය. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මූලික උද්ධමනය 2015 පෙබරවාරි මස වාර්තා වූ සියයට 0.8 සිට අඛණ්ඩ ව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේ දී සියයට 4.6 ක අගයක් වාර්තා කළේ ය. අඩු මට්ටමක පැවැති ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් පුළුල් වශයෙන් හිතකර දේශීය සැපයුම් තත්ත්වයන් මෙන් ම 2015 ජනවාරි මස ඉහළ අගයක් පැවැතීමේ පාදක බලපෑම හේතු‍වෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසය තුළ දී සියයට 0.9ක් දක්වා අඩු විය. 2015 දෙසැම්බර් මාසය තුළ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.2ක අගයක් වාර්තා කළේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි මස 16 වැනි දින සිට ඉහළ දැමීමට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය තුළින් දේශීය මුදල් වෙළෙඳපොළෙන් අතිරික්ත රුපියල් ද්‍රවශීලතාවේ කොටසක් ස්ථිර ලෙස අවශෝෂණය කොට ඇත. වෙළෙඳපොළ තුළ අතිරික්ත ද්‍රවශීලතාව පහළ යෑම වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම කෙරෙහි ද හේතු විය. ඒ අනුව බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාතික 2015 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ හෙළීමට පෙර පැවැති මට්ටම දක්වා වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑත දී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ වෙළෙඳපොළ පොලී අනුපාතික යම් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද සමස්ත ආර්ථිකයේ ස්ථායිතාවට යම් අවදානමක් පවතින බව 2016 පෙබරවාරි මස 19 දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලය නිරීක්ෂණය කරන ලදි. විශේෂයෙන් යටිදැරි උද්ධමනය අඛණ්ඩ ව ඉහළ යන අතර දේශීය ණය ප්‍රසාරණය ‍හේතු කොට ගෙන පුළුල් මුදල් ඉහළ වේගයකින් වර්ධනය වීම සලකා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනාත්මක පීඩනය අවම කිරීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව 2016 පෙබරවාරි 19 වැනි දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 දක්වා ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවන ලදි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR) 6.50%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.00%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

 

 

 

 

 

 

 

 

 

Published Date: 

Friday, February 19, 2016