2016 ජනවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.2 හි සිට 2016 ජනවාරි මාසයේ දී සියයට -0.7 දක්වා පහළ ගියේ ය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2015 අනුරූප කාල පරිච්ඡේදයේ දී පැවැති ඉහළ පදනමයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2015 දෙසැම්බර් මස වාර්තා වූ සියයට 3.8 හි සිට 2016 ජනවාරි මස දී 2.9 දක්වා පහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 දෙසැම්බර් සිට 2016 ජනවාරි දක්වා සියයට 1.1කින් පහළ ගියේ ය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් පහළ යෑම, දර්ශකයේ මෙම මාසික පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, අමු මිරිස්, දෙහි, ලොකු ළුෑණු, අර්තාපල් පොල් මිල ගණන් මෙම මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය.  මධ්‍යසාර පාන; දුම්කොළ හා මත්ද්‍රව්‍ය; රෙදිපිළි සහ පාවහන් උප කාණ්ඩවල මිල ගණන් ද 2016 ජනවාරි මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, ප්‍රවාහන උප කාණ්ඩයේ මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ හා ගෘහ උපකරණ හා දෛනික ගෘහ ඒකක නඩත්තුව; සෞඛ්‍ය; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපනශාලා සහ හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ගණන් මෙම ම‍ාසය තුළ නො වෙනස් ව පැවැතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, February 23, 2016