මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මාර්තු

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවැති සියයට 4.9 හා සාපේක්ෂ ව 2015 වසරේ දී සියයට 4.8කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. පිළිවෙළින් සියයට 5.5කින් සහ සියයට 3.0කින් වර්ධනය වෙමින් කෘෂිකාර්මික හා කාර්මික අංශ ද ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක විය. ආයෝජන ක්‍රියාකාරකම්වල පසුබෑම හමුවේ පර්භෝජන ඉල්ලුමේ ඉහළ යෑම 2015 වසරේ මෙම වර්ධනයට හේතු විය. 

ප්‍රධාන වශයෙන් ම, පෙර වසරේ සමාන කාල පර්ච්ඡේදයේ දී අඩු අගයක් වාර්තා කිරීමේ පාදක බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/07 = 100) මත පදනම් වූ  මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 0.9 හා සාපේක්ෂ ව 2016 පෙබරවාරි මාසයේ දී සියයට 2.7ක අගයක් වාර්තා කළේ ය. වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය ද පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7 හා සාපේක්ෂ ව 2016 පෙබරවාරි මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේ ය. ඊට සමාන හැසිරීමක් පෙන්නුම් කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7ක සෘණ අගයට සාපේක්ෂ ව 2016 පෙබරවාරි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත සියට 2.6ක අගයක් වාර්තා කළේ ය. මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව, 2016 පෙබරවාරි මාසයේ දී ද තවදුරටත් දක්නට ලැබුණු අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 4.6 හා සාපේක්ෂ ව සියයට 5.7ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් වසරේ ඉතිරි කාලය තුළ ද උද්ධමනය පහළ මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැ යි අපේක්ෂිත ය. 

විදේශීය අංශය සැලකූ විට, ජනවාරි මාසය තුළ අපනයන ආදායම් පහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම අනුව සියයට 9.1කින් අඩු විය. 2016 පෙබරවාරි මාසය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 19.4කින් ඉහළ ගිය අතර 2015 වසර තුළ දී සියයට 0.5කින් අඩු වූ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2016 වසරේ ජනවාරි සහ පෙබරවාරි කාලය තුළ දී සියයට 8.0ක වර්ධනයක් වාර්තා කළේ ය. 2015 වසර අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසරේ පෙබරවාරි මාසය අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා ණය ආපසු ගෙවීම් සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයින් සිය අරමුදල් ඉවතට ගෙන යෑමත් සමඟ ඉහළ ගිය විදේශ ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය විනිමය වෙළෙඳපොළට විදේශ විනිමය සැපයීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර 2016 වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල පුළුල් වශයෙන් නො වෙනස් ව පවතී. 

මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේ දී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම සහ දැඩි මුදල් තත්ත්වයේ බලපෑම පිළිබිඹු කරමින් වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා කාල පමාවකින් යුතු ව ප්‍රතිචාර දක්වන පුළුල් මුදල් සැපයුමේ (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2015 වසර අවසානයේ වාර්තා වූ සියයට 17.8 හා සැසඳීමේ දී 2016 ජනවාරි මාසයේ දී සියයට 19.1ක ඉහළ මට්ටමක පැවැතුණි. 2015 වසරේ නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසය තුළ පිළිවෙළින් සියයට 27.0 සහ සියයට 25.1ක් වූ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2016 ජනවාරි මාසයේ දී සියයට 25.7ක් විය. ඒ අනුව, 2016 ජනවාරි මාසය තුළ දී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය රුපියල් බිලියන 43.6කින් වර්ධනය විය. වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් මුදල් සමස්තවල වර්ධනය ඉදිරියේ දී ක්‍රමික ව අඩු වනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම මුදල් ප්‍රසාරණය අඩු වීම සඳහා සහාය වනු ඇතැ යි ද අපේක්ෂ‍ා කෙරේ. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මාර්තු 29 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.50%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.00%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

 

 

 

 

 

 

Published Date: 

Tuesday, March 29, 2016