එච්. ඒ. කරුණාරත්න
නියෝජ්‍ය අධිපති
එච්.ඒ කරුණාරත්න මහතා මහ බැංකු සේවයෙහි වසර 32 කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ මහ බැංකුව විසින් ඉටු කරනු ලබන අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳව විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. කරුණාරත්න මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සේවක අර්ථසාධක අරමුදල්, අවදානම් කළමනාකරණ සහ ලේකම් දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළ අතර මූල්‍ය බුද්ධි ඒකකයේ පරිපාලන කටයුතු ද අධීක්ෂණය කළේය. මීට අමතරව කරුණාරත්න මහතා පසුගිය වසර හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ, මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද අවදානම් පිරික්සුම් කමිටුවේ හා ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්ති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය.
කරුණාරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය ද දරයි.
කරුණාරත්න මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ වත්මන් උප සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ විගණන කමිටුවේ සභාපතිවරයා ද වේ. සංචිත කළමනාකරණය, ණය කළමනාකරණය, සුරැකුම්පත් වෙළෙඳපොළ, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය බුද්ධි ආදී වූ ක්ෂේත්‍ර පිළිබඳ ඇති පෘථුල දැනුම හා දෙස් විදෙස් අත්දැකීම් හරහා කරුණාරත්න මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා විශාල දායකත්වයක් සපයා ඇත. ඔහු සංචිත කළමනාකරණය, රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළෙඳපොළ, ව්‍යුත්පන්න වෙළෙඳපොළ සහ ප්‍රාථමික ගණුදෙනුකාර පද්ධති වැනි මාතෘකා යටතේ පර්යේෂණ ලිපි කිහිපයක්ම පළ කොට ඇත.