ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

ටොඩ් ෂ්නයිඩර් (Tod Schneider) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් මාර්තු මස 31 වැනි දින සිට අප්‍රේල් මස 11 වැනි දින දක්වා කාලය තුළ දී උපදේශන සාකච්ඡා (2016 Article IV) සහ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි අරමුදල් සහයෝගීතා වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹට පැමිණියේ ය. විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 36ක කාල පරාසයක් පුරා දිවෙන ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රජයත් දූත පිරිසත් අතර නිලධාරී මට්ටමේ වන එකඟතාවේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත්තේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ විධායක මණ්ඩල අනුමැතියට යටත් ව නිලධාරි මට්ටමේ එකඟතා අවසන් මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ඉදිරි සති දෙක තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම්වලට සමගාමී ව වොෂින්ටනයේ දී මෙම වැඩසටහන පිළිබඳ සාකච්ඡා බලධාරීන් සමඟ අඛණ්ඩ ව පැවැතෙනු ඇත. 

මෙම සංචාරය අවසානයේ දී ෂ්නයිඩර් මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදි. 

"2015 වසරේ සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය තුළින් ආර්ථිකයේ ධනාත්මක වර්ධනය ප්‍රවණතාව, දේශීය ප්‍රතිපත්තිවල බලපෑම සහ විදේශීය ආර්ථික පසුබිම අභියෝගාත්මක වීම වැනි තත්ත්වයන්හි සම්මිශ්‍රණයක් පෙන්නුම් කළේ ය. රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල් වීම, රාජ්‍ය ණය ඉහළ යෑම මෙන් ම වෙළෙඳ මිල අනුපාතය වර්ධනය වීම හමුවේ වුව ද ගෙවුම් තුලන තත්ත්වය පහළ යමක් දැකිය හැකි විය. 2016 වසරේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක මට්ටමේ සහ උද්ධමනය අඩු තනි අගයක පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මැදි කාලීන වශයෙන් ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත විභවි නිමැවුම් මට්ටමට ළඟා වීමට හැකියාවක් පවතින නමුත් නුදුරු අනාගතයේ දී ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග සහ වෙළෙඳාම සහ ආයෝජන කෙරෙහි පවතින අවහිරතා ඉවත් කිරීම මත මෙහි සාර්ථකභාවය රඳා පවතිනු ඇත. 

"ඉහළ සහ තිරසාර ආර්ථික වර්ධන මට්ටමක් ළඟා කර ගැනීම සාර්ව ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්තීන් නිසි ආකාරයෙන් ස්ථාපිත කිරීම සහ රාජ්‍ය මූල්‍ය සහ විදේශීය සංචිත වඩා හිතකර මට්ටමකට ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ආර්ථික වැඩසටහනක් බලධාරීන් විසින් යෝජනා කර ඇත. ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ප්‍රධාන අරමුණු අතර (අ) බදු පරිපාලනය සහ බදු ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම (ආ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම (ඇ) රජය සතු ආයතන ප්‍රතිසංස්කරණය සහ (ඈ) වඩා ඉහළ ඉදිරි දැක්මක් සහිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම, විදේශ විනිමය වෙළෙඳපොළ පුළුල් කිරීම සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය ශක්තිමත් කිරීම අන්තර්ගත වේ. 

"ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ ආදායම වැඩි කිරීම මත රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානය හිමි වේ. මේ අනුව බලන කළ 2016 වසරේ රාජ්‍ය අයවැය හිඟය දළ දේශී‍ය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.4ක් දක්වා අඩු කිරීමට ගත් අමාත්‍ය මණ්ඩල තීරණය දූත මණ්ඩලය අගය කරනු ලබන අතර අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ බදු සහ වියදම පිළිබඳ වූ ප්‍රතිපත්ති තීරණ ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙයි. රාජ්‍ය ව්‍යවසායයන්ගේ නො පියවා ඇති වගකීම් හඳුනා ගැනීම සහ නිසි විසඳුම් සෙවීම සඳහා පැහැදිලි උපාය මාර්ගයක් අනුගමනය කිරීම, බදු නිදහස් කිරීම් අඩු කර බදු පදනම පුළුල් කිරීමට කටයුතු කිරීම සහ නව ආයාදම් බදු පනතක් හඳුන්වා දීම, කෙටි කාලීන ව ගත යුතු අනෙකුත් ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ. ආදායම් පරිපාලනය නවීකරණය කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (RAMIS, ITMIS සහ ASYCUDA++ වැනි දැනටමත් ආරම්භ කර ඇති ප්‍රධාන පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීම ඇතුළු ව) තුළින් බදු ප්‍රතිපත්ති සහ වියදම් ප්‍රතිපත්ති තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම මත මැදිකාලීන ආදායම් ඉහළ දැමීමේ ප්‍රයත්නය පදනම් වනු ඇත. 

"මූලික උද්ධමනය අඛණ්ඩ ව ඉහළ යෑම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය වීම හමුවේ මෑතකාලීන ව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම, දූත පිරිසේ ඇගැයීමට ලක් විය. කෙ සේ නමුත්, මුදල් ප්‍රතිපත්ති යාන්ත්‍රණය දිගු කාල පමාවක් සහිත ව ක්‍රියාත්මක වීම සහ මූලික උද්ධමනය හා පෞද්ගලික අංශයේ ණය වර්ධනය ඉහළ යෑමෙහි ප්‍රවණතාව අඛණ්ඩ ව පැවතුණහොත් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සඳහා ශ්‍රී ලකා මහ බැංකුව සූදානමින් සිටිය යුතු වේ. ණය නො වන මූලාශ්‍ර මගින් සංචිත මට්ටම ගොඩ නැගීම සඳහා සක්‍රීය ව පියවර ගන්නා ලෙස ද දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට නිර්දේශ කරනු ලබයි.

"මූල්‍ය පද්ධතිය මනා ලෙස ප්‍රාග්ධනීකරණය සහ ද්‍රවශීලී ව තිබුණ ද, අක්‍රිය ණය ප්‍රමාණය ඉහළ යෑමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳ අවදානම කෙරෙහි බලධාරීන් අවධානයෙන් සිටිය යුතු ය. ඒකාබද්ධ පදනම මත අධීක්ෂණයට හා බාසල් III නියාමන රාමුව භාවිත කිරීමට ගත් පියවර දූත පිරිසේ ඇගයීමට ලක් වූ අතර අර්බුද සඳහා වූ පෙර සූදානම හා නිශ්චය කිරීම පිළිබඳ නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ එකඟතාවකට එළැඹිණි.

"මැදි කාලීන ආර්ථික වර්ධනය සහ සංචිත අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී සහ බාහිර අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවා ගැනීමේ දී කලාපීය සහ ගෝලීය සැපයුම් ජාලයට වඩාත් ඉහළ ලෙස සම්බන්ධ වීම, විදේශීය සෘජු ආයෝජන වැඩි කර ගැනීම සහ පෞද්ගලික අංශයට ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සඳහා නව ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය වනු ඇත. වෙළෙඳාම ඉහළ නැංවීමට සහ පෞද්ගලික අංශය සංවර්ධනය කිරීමට තීරු බදු සහ තීරු බදු නො වන වෙනත් බදු සමාලෝචනය කිරීමෙන් ආරක්ෂණ ක්‍රමවේදය වෙත අවධානය යොමු කිරීමට දූත මණ්ඩලය නිර්දේශ කරයි. යුරෝපීය සංගමයෙන් මත්ස්‍ය ආනයනය වාරණය කිරීම ලිහිල් කිරීම සහ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණයන් පිළිබඳ පොදු ක්‍රමය නැවත ස්ථාපිත කිරීම ඇතුළු ව දැනට තරගකාරිත්වය ඉහළ නැංවීමට ගෙන ඇති අනෙකුත් ක්‍රියාමාර්ග දූත පිරිසේ ඇගැයීමට ලක් විය. අන්තර්ජාතික වෙළෙඳාම වෙනුවෙන් පහසුකම් සැලසීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම (ඉලෙක්ට්‍රොනික රේගු ලියකියවිලි ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම ද ඇතුළත් ව) විදේශීය ආයෝජන ලබා ගැනීම සහ රඳවා ගැනීමට ඇති බාධක ඉවත් කිරීම, මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. 

"දූත පිරිස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහථ මුදල් අමාත්‍ය කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ අමාත්‍ය සමරවික්‍රම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහේන්ද්‍රන්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව, සමාජ නියෝජනයන් සහ අන්තර්ජාතික හවුල්කරුවන්ගේ නියෝජිතයින් මුණ ගැසුණේ ය."

 

Published Date: 

Monday, April 11, 2016