මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මැයි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවැති සියයට 19.8 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 18.9ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයවල වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය පෙර මාසයේ දී වාර්තා වූ සියයට 26.5 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 27.7ක් විය. ණය සපයන ලද අංශ අනුව ව්‍යාප්තිය සැලකීමේ දී කර්මාන්ත හා සේවා අංශ සඳහා ලබා දුන් ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවැති අතර පුද්ගල ණය සහ අත්තිකාරම් ද සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අතර මෑතක දී අනුගමනය කරනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දේශීය මුදල් වෙළෙඳපොළ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව පහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ අනුපාතික සහ අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙටි කාලීන පොලී අනුපාතික ඉහළ යෑමේ බලපෑම වෙළෙඳපොළ අනෙකුත් පොලී අනුපාතික කරා ක්‍රමානුකූල ව සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින් වසරේ දෙවන කාර්තුව තුළ දී මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 2.0 හා සාපේක්ෂ ව 2016 අප්‍රේල් මාසයේ දී සියයට 3.1ක් විය. ඒ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය 2016 මාර්තු මස වාර්තා කරන ලද සියයට 1.1 සිට 2016 අප්‍රේල් මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේ ය. කෙ සේ වෙතත් කොළම පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මූලික උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 4.5 මට්ටමේ නො වෙනස් ව පැවැතුණි. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) අනුව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 මාර්තු මාසයේ වාර්තා කල සියයට 1.7 හා සැසඳීමේ දී සියයට 2.2ක් දක්වා ඉහළ ගිය අතර එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.4ක් විය. එකතු කළ අගය මත බදු අනුපාතික (VAT) මෑතක දී ඉහළ නැංවීම සහ එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩ නැගීමේ බදුවලට (NBT) අදාළ ව පැවැති ඇතැම් නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් පාරිභෝගික මිල ගණන්වල එක් වරක් පමණක් සිදු වන ඉහළ යෑමක් අපේක්ෂා කෙරෙන අතර ම පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැපයුම් අංශ අඩාල වීම තුළින් නුදුරු කාලයේ දී මිල ගණන් මත පීඩනය ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සැපයුම් අංශයේ තාවකාලික බාධා මධ්‍යයේ වුව ද නිසි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය තවදුරටත් මැදි තනි අගයක පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

විදේශීය අංශය සැලකූ විට 2016 වසරේ පළමු මාස තුන වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 2.2කින් අඩු විය. මේ අතර වසරේ මුල් මාස හතර තුළ දී සංචාරක ඉපැයීම් සියයට 20.0කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පළමු කාර්තුව තුළ සියයට 8.1ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. පෙර මාසය අවස‍ානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය 2016 අප්‍රේල් අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර 2016 වසරේ මේ දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත. මේ අතර රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබුණු ශුද්ධ ආයෝජනවලින් පිළිබිඹු වන පරිදි 2016 අප්‍රේල් මාසයේ සිට රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයින් තුළ ඇති උනන්දුව යළි ඇති වී ඇති බව නිරීක්ෂණය වී ඇත. සැලසුම්ගත ව්‍යුහාත්මක වෙනස්කම් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙතින් අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility) හා අනෙකුත් බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික ණය පහසුකම් ද හේතුවෙන් විදේශීය කම්පනවලට සාර්ථක ව මුහුණ දීමට ආර්ථිකයට ඇති හැකියාව ද ආයෝජක විශ්වාසය ද ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මැයි මස 20 පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)  6.50%
නිතය ණය පහසුනම් අනුපාතිකය (SLFR) 8.00%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

Published Date: 

Friday, May 20, 2016