2016 අප්‍රේල් මාසයේ දී උද්ධමනය

ජනලේඛන හා සං‍ඛ්‍යාලේඛන දෙපාර්රතමේන්තුව මගින් ගණනය ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලකෂ්‍යමය පදනම මත 2016 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 2.2 හි සිට 2016 අප්‍රේල් මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග; මධ්‍යසාර පාන හා දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩ 2016 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සඳහා බලපා ඇත.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මාර්තු මස වාර්තා වූ සියයට 2.4හි සිට 2016 අප්‍රේල් මස දී සියයට 2.6 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස් වීම සැලකූ විට 2016 මාර්තු මාසයේ දර්ශක අංක 111.0 සිට අප්‍රේල් මාසයේ දර්ශක අංක 111.6 දක්වා සියයට 1.5ක වැඩිවීමක් වාර්තා වේ. මෙම වැඩිවිම සඳහා ආහාර සහ මධ්‍යසාර නො වන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ප්‍රධාන වශයෙන් දායක විය. අළුත් මාළු, ලුණු, සහල්, සමහර පලතුරු වර්ග, අර්තාපල්, සීනි, කුකුළු මස්, පාන් මිල ගණන් මෙම මාසය තුළ දී ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; ප්‍රවාහන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් අප්‍රේල් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර සෞඛ්‍ය; සන්නිවේදන; විනෝදාත්මක සහ සංස්කෘතික උප කාණ්ඩවල මිල ගණන් නො වෙනස් ව පැවැතුණි. එකතු කළ අගය මත බදු (VAT බදු) සහ ජාතිය ගොඩ නැගීමේ බදු (NBT) සංශෝධනයන් 2016 මැයි මස සිට ක්‍රියාත්මක කරන ලද බැවින් 2016 අප්‍රේල් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස සඳහා එම සංශෝධනයන් සෘජු ලෙස බලපා නැත.

සමපූර්ණ ලිපිය

 

 

Published Date: 

Thursday, May 26, 2016