ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන් මාධ්‍යයන්හි පළ වන සාවද්‍ය තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සිය පුද්ගලික කටයුතු සඳහා මහජන මුදල් වැය කර ඇති බවට විපක්ෂයේ දේශපාලනඥයෙක් චෝදනා නගා තිබුණු අතර ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි.

මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකු කාර්ය මණ්ඩලය විසින් හෝ පුද්ගලික වියදම් සඳහා එකදු සතයක් ලබා ගෙන නොමැත. කිසිදු අයථා හෝ නීති විරෝධී ආකාරයකින් මහජන මුදල් වියදම් කිරීමක් ද සිදු කර නොමැත.

මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය සහභාගී වන ජාත්‍යන්තර හා දේශීය නිල රාජකාරී කටයුතුවල දී අදාළ වියදම් මහ බැංකුව විසින් දරනු ලැබේ. මෙය අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද පවත්නා පොදු තත්ත්වයකි. 

පසුගිය කාලය තුළ මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයට ලෝක බැංකුව (World Bank) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානය (SAARC), අගනිදිග ආසියානු මහ බැංකු කේන්ද්‍රය (SEACEN), ආසියානු නිශ්කාෂණ සංගමය (ACU) වැනි ආයතන විසින් වාර්ෂික ව පවත්වනු ලබන ද්විපාර්ශ්වික රැස්වීම් සඳහා සහභාගී වීමට ද ගරු අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ නිල සංචාර ගණනාවකට ද සහභාගී වීමට සිදු විය. එ සේ ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ගණනාවක නියෝජිකයන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවන්හි ඔවුන්ට සත්කාර වියදම් දැරීමට ද සිදු විය. 

මෙම සියලු වියදම් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකු නීති සහ රෙගුලාසි අනුව ය. රාජ්‍ය මුදල් රෙගුලාසි යටතේ නියම කර ඇති මූලධර්ම සහ කාර්ය පටිපාටීන්වලට අනුකූල ව ය. මෙම වියදම් පිළිබඳ සංඛ්‍යාලේඛන අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජනරජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කෙරේ. මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ නිල සංචාර අරභයා සිදු කර ඇති මෙම වියදම් රෙගුලාසි කඩ කරමින් අයථා ලෙස සිදු කර ඇති බවට කිසිදු විගණන වාර්තාවක් ලැබී නොමැත.

එ බැවින් මේ සම්බන්ධ සැබෑ තත්ත්වය මහජනතාවට ඉදිරිපත් කළ යුතු ව ඇතැ යි ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි. 

සැබැවින් ම සිදු වී ඇත්තේ නිල සංචාර සඳහා මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ වියදම් අවම කර ගැනීම මිස අයථා ලෙස වියදම් වැඩි කරලීම නො වේ. 2014 වසරේ නිල සංචාර සහ ඊට ඈඳුණු කටයුතු සඳහා මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය රුපියල් මිලියන 133.8ක් වියදම් කර තිබේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මූල්‍ය විනය තදින් ම ආරක්ෂා කිරීමට කැප වී සිටින මහ බැංකු අධිපතිවරයා සහ සමස්ත කාර්ය මණ්ඩලය 2015 වසරේ නිල සංචාර සහ ඊට ඈඳුණු කටයුතු සඳහා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 96.6ක මුදලකි. එය 2014 වසරට වඩා රුපියල් මිලියන 37.2ක අඩු වීමකි.

Published Date: 

Monday, June 6, 2016