ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 ජූනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිනි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ ප්‍රවේශය පදනම් කර ගත් අධීක්ෂණ සොයා ගැනීම්වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය විය.  

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාන්‍යාධිකා, වජිර විජේගුණවර්ධන මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩි. එම්. රූපසිංහ මහතා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති රනෙල් ටි. විජේසිංහ මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.  

දේශීය හා ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට තර්ජනයක් වන මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඊට සම්බන්ධ මූල්‍ය අපරාධ වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයට අනුකූල වීම සුරැකුම්පත් අංශයේ ආයතනයන්ට ද ඉතා වැදගත් වේ.   සුරැකුම්පත් අංශයේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය වශයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සුරැකුම්පත් අංශය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවට අනුකූල කරවීම සඳහා, අවදානම මත පදනම් වූ අධීක්ෂණයන් සිදු කර, එම අධීක්ෂණ සොයා ගැනීම් මූල්‍ය බුද්ධි ඒකකය සමඟ හුවමාරු කර ගනු ඇත. 

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය යන දේශීය රාජ්‍ය ආයතන මෙන් ම විදේශීය පාර්ශ්වයන් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණයට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නියාමන/අධීක්ෂණ අධිකාරියක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලද පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේ දී මෙ වැනි නියාමන/අධීක්ෂණ අධිකාරි ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට කටයුතු යොදා ඇත.  

 

Published Date: 

Tuesday, June 26, 2018