රුපියලේ සිදු වන අනිසි අවප්‍රමාණය වීම වැළැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී  තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නො හැකි ය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක මගින් රුපියලේ තරගකාරිත්වය පිළිබිඹු කෙරේ.

එ බැවින්, විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙනුයේ අනිසි පීඩනයකි. 

දැනට පවතින සංචිත ප්‍රමාණය පහත දැක්වෙන ලැබීම් මගින් තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. 

      • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි මීළඟ කොටස ලෙස 2018 ජුනි මස මුල් භාගයේ දී ලැබීමට නියමිත එ.ජ.ඩොලර් මිලියන 250 
      • 2018 ජුනි මස දෙවන සතිය තුළදී, හම්බන්තොට වරාය දිගුකාලීන පදනම මත බදු දීම යටතේ ලැබිය යුතු අවසන් කොටස වන එ.ජ.ඩොලර් මිලියන 585 
      • 2018 ජුනි මැද වන විට ලබා ගැනීමට නියමිත එ.ජ.ඩොලර් බිලියන 1.0 ක වටිනාකමකින් යුත් ඒකාබද්ධ ණය පහසුකම 

මෙ මගින් 2018 වසරේ ජුනි මැද වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 11 ක් පමණ වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

නම්‍යශීලී විනිමය අනුපාතික කළමනාකරණය ‍පවත්වා ගෙන යන අතරතුර ම, පවතින ආර්ථික මූලධර්මයන් මගින් සාධාරණීකරණය කළ නො හැකි ආකාරයට රුපියල අනවශ්‍ය පරිදි අවප්‍රමාණය වීම වළකමින් රුපියල අධිප්‍රමාණය වීමට සැලැස්වීම සඳහා මහ බැංකුවට, පෙර නො වූ පරිදි විශාල ප්‍රමාණයක වූ සිය සංචිතවලින් කොටසක් භාවිතා කිරීමේ හැකියාව පවතී.

 

Published Date: 

Wednesday, May 16, 2018