ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2016 ජූනි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාස දෙක හා සැසඳීමේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 ජූනි මාසයේ දී 55.1ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය මැයි මාසය හා සාපේක්ෂ ව දර්ශක අගයන් 7.2ක ඉහළ යෑමකි. මෙම වර්ධනය සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් දර්ශකයන්ගේ සැලකිය යුතු වර්ධනය ප්‍රධාන වශයෙන් දායක විය. මීට අමතර ව ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පිළිබඳ දර්ශකය හැර අනෙකුත් සියලු ම උප දර්ශක මැයි මාසයට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළේ ය. තව ද, සේවා නියුක්ති දර්ශකය හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරි අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේ දී 56.3ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මැයි මස වාර්තා වූ 58.1ක අගය හා සසඳන විට ජූනි මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදු වුව ද එය ආන්තික වශයෙන් සිදු වූ වර්ධනයක් බව පෙන්නුම් කරයි. ලක්ෂ්‍යමය පදනම මත සලකා බලන කළ මෙය දර්ශක අංක 8.7ක පහත වැටීමකි. ආර්ථික ක්‍රියාකාරකම්හි වර්ධන වේගය අඩු වීම නව ව්‍යාපාර, සේවා නියුක්තිය, නිම කිරීමට නියමිත කාර්යයන් හා අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් යන අංශවල දක්නට ලැබිණි. මේ අතර, ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකයේ සුළු වර්ධනයක් ජූනි මාසයේ දී පෙන්නුම් කළේ ය. දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන අය කරන මිල ගණන් උප දර්ශකය ජූනි මාසයේ දී පහත වැටිණි. එ මගින් මිල ඉහළ යෑමේ වේගය ජූනි මාසයේ දී පහත වැටුණු බව අනාවරණය විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 15, 2016