මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූලි

ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් ද පසුගිය මාස දෙක තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇත. මේ අතර දැනට පවතින දර්ශකවලට අනුව මූර්ත අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් තෙරේ. විශේෂයෙන් ම බලශක්ති උත්පාදනය, සංචාරක හා වරාය ආශ්‍රිත සේවා, ඉදිකිරීම්, ආයෝජන භාණ්ඩ ආනයනය මෙන් ම නිෂ්පාදන හා සේවා අංශ සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක (Purchasing Managers' Index - PMI) පසුගිය මාස කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මුදල් අංශය සැලකූ විට, 2016 වසරේ මුල් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහ දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව අඛණ්ඩ ව පහළ මට්ටමක පැවැතීම හේතුවෙන් වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් දක්නට ලැබුණි. 2016 මැයි මාසය තුළ දී පුළුල් මුදල් සැපයුමේ (M2b) වර්ධනය මන්දගාමී වුව ද, මුදල් ප්‍රසාරණය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක පැවැතුණි. ඉහළ වෙළෙඳපොළ පොලී අනුපාතික මධ්‍යයේ වුව ද, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංහය සඳහා සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 අප්‍රේල් මාසයේ පැවැති සියයට 28.1ට සාපේක්ෂ ව 2016 මැයි මාසයේ දී සියයට 28.0ක ඉහළ අගයකින් වර්ධනය විය. තාවකාලික දත්තවලට අනුව ජූනි මාසයේ දී ද පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ අඛණ්ඩ ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. ඉහළ වෙළෙඳපොළ පොලී අනුපාතික වාතාවරණය මධ්‍යයේ වුව ද, බැංකු ණය සඳහා පෞද්ගලික අංශයේ ඇති නැඹුරුව තුළින් අනාගතයේ දී ආර්ථිකය තුළ අතිරික්ත ඉල්ලුමක් සහ ඉහළ උද්ධමන තත්ත්වයක් ඇති කිරීමේ හැකියාව පවතී.

දේශීය ණයේ පැවැති අඛණ්ඩ වර්ධනය වෙළෙඳ හිඟය පුළුල් වීමට ද හේතු විය. ඒ අනුව 2016 වසරේ පළමු මාස පහ තුළ දී ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 1.4කින් ඉහළ ගියේ ය. සංචාරක ඉපැයුම් සහ අනෙකුත් අපනයන සේවා ඉපැයුම් ඉහළ යෑම, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ රජය වෙත දිගු කාලීන මූල්‍ය ගලා ඒම් හේතුවෙන් ගෙවුම් ශේෂය මත ඇති පීඩනය තරමක් දුරට ලිහිල් විය. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් උද්ධමන පීඩන ක්‍රමයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස අධි ඉල්ලුම් තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කළ යුතු බව 2016 ජූලි 28 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව 2016 ජූලි 28 වැනි දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDLR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදි. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් මැදි කාලීන ව උද්ධමනය මැදි තනි අගයක පවත්වා ගැනීමට හැකි වෙතැ යි මුදල් මණ්ඩලය අපේක්ෂා කරන අතර එය ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාවට උපකාරී වනු ඇත. එ බැවින් මෙම ප්‍රතිපත්ති සංශෝධනය දිගු කාලීන ඵලදා වක්‍රය මත සැලකිය යුතු බලපෑමක් සිදු නො කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සමීප ව නිරී්ක්ෂණය කරනු ලබන අතර අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස් කිරීම් සිදු කරනු ඇත. 

මුදල් ප්‍රතිපත්ති තීරණය  ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවන ලදි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.00%
නිත්‍ය ණය පහසුකම් අනුුපාතිකය (SLFR) 8.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

Published Date: 

Thursday, July 28, 2016