මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 1

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය.

මැදිකාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගෙන යෑම සහ එමගින් තිරසාර වර්ධනයකට පහසුකම් සැලසීමේ අරමුණ සමඟ මුදල් මණ්ඩලයේ මෙම තීරණය අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩු දුන් සාධක පහත පරිදි වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී විය. 2017 වසර අවසානය වන විට පුළුල් මුදල් සැපයුමේ වර්ධනය මෙන් ම, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයේ වර්ධනය ද අපේක්ෂිත මට්ටම් දක්වා මන්දගාමී විය. විදේශීය අංශය සැලකූ විට, 2017 වසරේ දී යුරෝපා සංගමය විසින් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී. ප්ලස්) නැවත ලබාදීම, ප්‍රධාන වෙළඳ භාණ්ඩ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළෙහි හිතකර මිල මට්ටම් පැවතීම මෙන් ම මහ බැංකුව විසින් පවත්වා ගනු ලැබූ නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය හේතුවෙන් අපනයන ආදායම මෙතෙක් වාර්තාගත ඉහළම මට්ටම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 11.4 ක් පමණ දක්වා ඉහළ යෑමක් සනිටුහන් කළේ ය. කෙ සේ වුව ද,  නියඟය හේතුවෙන් ඉහළ ගිය ආනයන සහ රත්‍රන් ආනයන ඉහළ යෑමේ බලපෑම මගින් වෙළෙඳ හිඟය පුළුල් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යම් අඩුවීමක් පෙන්නුම් කළ ද, සංචාරක අංශය ඇතුළු සේවා ආශ්‍රිත අපනයන තවදුරටත් ධනාත්මක ව වර්ධනය විය. 2017 වසර තුළ දී ඍජු විදේශ ආයෝජන ප්‍රවාහ ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතැ යි ඇස්තමේන්තුගත කර ඇති අතර, මේ සඳහා හම්බන්තොට වරාය බදු දීමෙන් ලද මූල්‍ය ලැබීම් දායක විය. මෙම වර්ධනයන් පිළිබිඹු කරමින්, 2018 ජනවාරි මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7 ක් වූ අතර,  2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 0.9 කින් අවප්‍රමාණය වී ඇත. මේ අතර, 2018 ජනවාරි මාසයේ දී, ආහාර ආශ්‍රිත උද්ධමනයේ සිදු වූ සැලකිය යුතු මන්දගාමී වීම සමඟ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය තියුණු ලෙස පහළ ගියේ ය. 2018 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ද  (2013 = 100) සැලකිය යුතු පහළ යෑමක් වාර්තා කරනු ඇතැ යි අපේක්ෂිත අතර,  2018 වසරේ ඉදිරි කාලය තුළ දී මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අපේක්ෂිත මැදි-තනි අගයක මට්ටමේ ස්ථාවර ව පවතිනු ඇතැ යි අපේක්ෂිත ය. 

වර්තමානයේ දී ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම එහි ශක්‍යතා මට්ටමට වඩා පහළින් පවතින බව මුදල් මණ්ඩලයේ අවධානයට යොමු විය. කෙසේ නමුත් පවත්නා දර්ශකවලට අනුව, ගත වූ වසර දෙක තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ ආර්ථිකය, විදේශීය ඉල්ලුමේ සහ විදේශීය ඍජු ආයෝජනවල අපේක්ෂිත ඉහළ යෑමේ ප්‍රතිලාභ හේතුවෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂිත ය. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ නැංවුණු පෞද්ගලික ආයෝජනවල සහයෝගය සහිත ව ක්‍රියාත්මක කරනු ලබන නව වෙළෙඳ ගිවිසුම්වල බලපෑම ද හේතුවෙන් වෙළෙඳ අංශය තවදුරටත් වර්ධනය වීම තුළින්, ආර්ථිකයට මැදිකාලීන ව සිය ශක්‍යතා මට්ටම කරා ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත. 

රාජ්‍ය මූල්‍ය අංශය සැලකූ විට, දශක ගණනාවකට පසු 2017 වසර තුළ දී ප්‍රාථමික ගිණුමේ ශේෂයේ සුළු අතිරික්තයක් වාර්තා කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ.  කෙ සේ වුව ද, ජල ගැලීම් සහ නියඟය ආශ්‍රිත සහනාධාර සැපයීම තුළින් වියදම් ඉහළ යෑම සහ ආදායම් රැස් කිරීම් පහළ යෑම හේතුවෙන් සමස්ත රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය පුරෝකථිත මට්ටමට වඩා වෙනස් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ගෝලීය ආර්ථිකය සැලකූ විට, 2018 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්මේ නවතම ප්‍රකාශනයට අනුව, ගෝලීය වර්ධන පුරෝකථන ඉහළ නංවා ඇත. මෙම වැඩිදියුණු වූ ගෝලීය වර්ධන ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත සමස්ත වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර, පවත්නා දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් අවධානයට යොමු විය යුතු කරුණක් ව පවතී. 

ඉහත වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -                 සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                       සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                             සියයට 7.50 

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2018 අප්‍රේල් මස 04 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Thursday, February 15, 2018