රාජ්‍ය ණය වාර්තා කිරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

රජය වෙනුවෙන් නිකුත් කරන ලද දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ගබඩාවට අමතර ව මුදල් අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරු ද පදනම් කර ගනිමින් මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි. මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරු ව ම සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය සංඛ්‍යාලේඛනවල නිවැරදිතාව තහවුරු කර ගනු ලබයි. මීට අදාළ ව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන ණය තොරතුරු පද්ධතියට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ද ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. තව ද, මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ සේවාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ස්වකීය දේශීය හා විදේශීය වාණිජ ණය නිකුත් කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ණය තොරතුරු පද්ධතිය භාවිත කරයි. මෙ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගණනය කරනු ලබන මධ්‍යම රජයේ ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් නිරීක්ෂණය කර පිළිගැනීම සිදු කරනු ලබයි. 

මීට අමතර ව, ණය සටහන් පද්ධතිවල තොරතුරුවලට අනුව සිදු කරන ලද ණය සේවාකරණ ගෙවීම් තුළින් නො කැළැල් ණය සේවාකරණ වාර්තාවක් ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා පවත්වා ගෙන යන ලදි. 

තව ද, රාජ්‍ය ණය කළමනාකරණය විචක්ෂණශීලී ව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය කළමනාකරණ උපාය මාර්ගයක් සකස් කරමින් පවතින අතර, සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමත් සමඟ ණය සේවාකරණ වගකීම තවදුරටත් විධිමත් ව කළමනාකරණය කිරීමට හැකි වනු ඇත. 

 

Published Date: 

Thursday, February 8, 2018