ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.

  1. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ වම් පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවධත්වය සැමරීමේ ලාංඡනය දිස් වේ.
  2. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය දිස් වේ.
  3. නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ.

Front of the Commemorative Currency Note

නෝට්ටුවේ පිටුපස: දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ පවතින රූප එ ලෙස ම පවතී.

අනුක්‍රමික අංක S70/1 000001 සිට S70/5 1000000 දක්වා මුදල් නෝට්ටු මිලියන 5ක් නිකුත් කරනු ලැබේ. නෝට්ටුවේ දිනය 2018.02.04 ලෙස සඳහන් වේ.

මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑ ම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු වන අතර මෙය සංසරණයේ පවතින කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් ද වේ.

2018.01.30 දින මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත නිල වශයෙන් පිළිගන්වන ලදි.

2018.02.06 දින සිට මෙම සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත්  කරනු ලැබේ. එ මෙන් ම, මුල් අනුක්‍රමික අංක සහිත මුදල් නෝට්ටු සීමිත ප්‍රමාණයක් ආකර්ෂණීය ෆෝල්ඩරයක් සමඟ ඒකක වටිනාකම රුපියල් 1300ක මිලකට කොළඹ 1, චැතැම් වීදියේ අංක 54 දරන ස්ථානයේ පිහිටි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ ඇති ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ හා අනුරාධපුරය, මාතර, මාතලේ, ත්‍රිකුණාමලය හා කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු පළාත් කාර්යාලවල දී අලෙවි කරනු ලැබේ.    

 

Published Date: 

Tuesday, January 30, 2018