ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 දෙසැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යෑම හේතු විය. තව ද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග සහ සේවා නියුක්ති යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 57.4ක දර්ශක අගයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී 61.2ක දර්ශක අගයක් වාර්තා කළේ ය. 2017 දෙසැම්බර් මාසයේ දී සේවා අංශය වැඩි වේගයකින් වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්ති, නිම කිරීමට ඇති කාර්යයන් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශක සියල්ල මෙම වර්ධනය සඳහා දායක විය. මෙය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ සමීක්ෂණය ආරම්භ කළ 2015 මැයි මස සිට නිම කිරීමට ඇති කාර්යයන් උප දර්ශකය කඩඉමි මට්ටම ලෙස සැලකෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද ප්‍රථම අවස්ථාවයි. සේවා අංශයේ වර්ධන උපනතියක් තවදුරටත් පෙන්නුම් කරමින් නව ව්‍යාපාර උප දර්ශකය මාස හයකින් වාර්තා කළ ඉහළ ම අගය වාර්තා කළේ ය. උත්සව සමයේ වර්ධනය වූ ඉල්ලුම් තත්ත්වය හා දේශීය සහ විදේශීය සංචාරක කර්මාන්තශාලාවල සිදු වූ වර්ධනය හේතුවෙන් ප්‍රධාන වශයෙන් තොග සහ සිල්ලර වෙළෙඳ‍ාම හා නවාතැන් සහ ආහාරපාන සැපයීමේ උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණි. උත්සව සමයේ වර්ධනය වූ ඉල්ලුම් තත්ත්වය හේතුවෙන් අය කරන මිල ගණන් 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ ගියේ ය. 2017 වසරේ භාවිත නො කළ නිවාඩු සඳහා මුදල් ගෙවීම සහ සාමූහික වැටුප් ගිවිසුම් යටතේ 2018 වසරේ අපේක්ෂිත වැටුප් වර්ධන හේතුවෙන් 2017 දෙසැම්බර් මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ යන ලදි. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 16, 2018