මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් වීම් මගින් පිළිබිඹු වන පරිදි යටිදැරි උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වා ම නො කඩවා පැවැතුණි. 

විදේශීය අංශය සැලකූ විට විදේශීය ඉල්ලුම සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවැතීමත් සමඟ 2016 පළමු භාගය තුළ දී ඇස්තමේන්තු කර ඇති වෙළෙඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 2.2කින් ඉහළ ගියේ ය. 2016 ජූලි මාසය තුළ දී විදේශිකයින්ගේ වාර්තාගත පැමිණීමත් සමඟ ම 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 16.7කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2016 වසරේ පළමු මාස හත තුළ දී සියයට 3.8ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. සංචාරක ඉපැයීම් හා සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැනි විදේශ විනිමය ගලා ඒම් සමඟ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම පිළිබඳ විදේශීය කැමැත්ත යළි ඇති වීම සහ රජය වෙත මැදි සහ දිගු කාලීන මූල්‍ය ප්‍රවාහ ලැබීම් හේතුවෙන් ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතිකය මත ඇති කරන පීඩනය ලිහිල් විය. තව ද, 2016 ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 5.3 සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇත. 

2016 ජූනි මාසය තුළ දී මුදල් ප්‍රසාරණය අඛණ්ඩ ව ඉහළ අගයක පැවැතුණි. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂක ලක්ෂ්‍යමය වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 28.0ට සාපේක්ෂ ව 2016 ජූනි මාසයේ දී සියයට 28.2ක සැලකිය යුතු ලෙස ඉහළ අගයකින් අඛණ්ඩ ව වර්ධනය විය. කාර්මික සහ සේවා යන අංශ සඳහා ලබා දුන් ඉහළ ණය ප්‍රමාණය මෙන් ම පෞද්ගලික ණය සහ අත්තිකාරම්වල සැලකිය යුතු වර්ධනය හේතුවෙන් වසරේ පළමු භාගය තුළ දී දේශීය ණය ප්‍රසාරණය විය. ඉහළ වර්ධනයන් පිළිබිඹු කරමින් පුළුල් මුදල් සැපයුමේ (M2b) වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 16.5 සිට 2016 ජූනි මාසයේ දී සියයට 17.0 දක්වා ඉහළ ගියේ ය. තාවකාලික දත්තවලට අනුව 2016 ජූලි මාසයේ දී ද පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සහ පුළුල් මුදල් සැපයුම ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ අතර වසරේ පළමු මාස හත තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් කෙටි කාලීන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර එ මගින් මූල්‍ය අංශයේ ණය අනුපාතික සහ තැන්පතු අනුපාතිකවල තියුණු ඉහළ යෑමක් සිදු වී ඇත. 

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපික සංචිත අනුපාත (SRR) ඉහළ දැමීම තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 වැනි දින පැවැති රැස්වීමේ දී නිරීක්ෂණය කළේ ය. එ බැවින් වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන්හි වර්ධනය මැදිකාලීන ව උද්ධමනයට මැදි තනි අගයක පවත්වා ගෙන යෑමට උපකාරී වන මට්ටමකට මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

මුදල් ප්‍රතිපත්ති තීරණය                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී 

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)            7.00%

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)                  8.50% 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)                        7.50%

 

Published Date: 

Tuesday, August 30, 2016