ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 නොවැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 නොවැම්බර් මාසයේ දී 58.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.0ක ඉහළ යෑමකි. ඒ අනුව, 2017 ඔක්තෝ්බර් මාසයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම උක්සව සමයට සමගාමී ව ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදන කටයුතු සඳහා ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් වර්ධනය වූ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක හේතු විය. තව ද, 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව සේවා නියුක්ති සහ ගැනුම් තොග යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු වේ. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ඉහළ අගයක් වාර්තා කරන ලද නමුත් මෙය පසුගිය මාසයට සාපේක්ෂ ව සුළු පසුබැසීමක් පෙන්නුම් කරයි.

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ 55.3ක දර්ශක අගයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී 57.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. 2017 නොවැම්බර් මාසයේ දී සේවා අංශය සාමාන්‍ය වේගයකින් වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කරයි. ව්‍යාපාර ක්‍රියාකාරකම්, නව ව්‍යාපාර සහ සේවා නියුක්ති උප දර්ශක මෙම වර්ධනය සඳහා දායක විය. 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී ඉදිරි මාස තුන සඳහා අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ අතර නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගියේ ය. සේවා සැපයීමේ මංපෙත්වල වර්ධනය සහ නව තාක්ෂණය දියුණු කිරීම් හේතුවෙන් ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ සන්නිවේදන අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණි. උත්සව සමය සඳහා සූදානම් වීමේ දී ආයතන මගින් වැඩි පිරිසක් සේවයේ යෙදවීමත් කලක සිට පැවැති ඇබෑර්තු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමත් සමඟ සේවා නියුක්තිය සිව් මසකින් වාර්තා කළ ඉහළ ම අගය වාර්තා කළේ ය. අය කරන මිල ගණන් සැලකීමේ දී එය 2017ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී අඩු වේගයකින් ඉහළ ගිය අතර ප්‍රසාද දීමනා, උත්සව අත්තිකාරම් සහ 2017 වසරේ භාවිත නො කළ නිවාඩු සඳහා මුදල් ගෙවීම වැනි සෘතුමය ප්‍රතිලාභ ගෙවීම් හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, December 15, 2017