ශ්‍රී ලංකා මහ බැංකුවේ දස වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2017 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව ප්‍රතිපත්ති සම්පාදන සහ අධ්‍යාපන ආයතනවල පර්යේෂකයන් සඳහා තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ නව්‍ය පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් සඳහා වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන තේමාව යටතේ පවත්වනු ලැබීය.

පෙර වසරවල දී මෙන් ම,  දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා ලොව පුරා මහ බැංකු, පර්යේෂණ ආයතන සහ නම් දැරූ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කීර්තිමත් පර්යේෂකයින් රැසක් සහභාගී විය. 

මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය, ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට පර්යේෂකයකු වන ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය කීත් හවුටන් මහතා විසින් පවත්වනු ලැබී ය. බදු ගෙවන්නන් වැය කළ මුදල් සඳහා වටිනාකමක් ලබා දීමේ අරමුණ ඇති ව රජයේ වියදම් භාවිත කළ යුතු බව මහාචාර්ය හවුටන් සිය දේශනයේ දී අවධාරණය කළේ ය. රජයේ විශ්ව විද්‍යාල සඳහා වන රජයේ වියදම්, සාක්ෂි මත පදනම් වූ නව්‍ය ක්‍රමවේද උපයෝගී කර ගනිමින් වඩාත් කාර්යක්ෂ්ම ව සිදු කළ යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළේ ය. 

සමුළුවේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් පවත්වන ලදී. සමුළුව අමතමින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ශක්තිමත් රාමු වැඩිදියුණු කිරීමේ වැදගත්කම සහ නීතිමය පනත් මගින් එම රාමු ආයතනගත කිරීමේ වැදගත්කම අධිපතිතුමා මෙහි දී අවධාරණය කළේ ය. එ මෙන් ම, ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවකට නැඹුරු වීමේ ක්‍රියාවලියේ වැදගත්කම මෙන් ම මහ බැංකුවේ වගවීම සහ ස්වාධීනත්වය ගොඩනැගීමේ වැදගත්කම ද මෙහි දී ඔහු අවධාරණය කළේ ය. තවද, බාහිර ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම මෙන් ම රාජ්‍ය ණයෙහි තිරසාර බව ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය වගකීම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. එ සේ ම, තිරසාර ආර්ථික වර්ධනය සහ සේවා නියුක්ති අවස්ථා උත්පාදනය සඳහා ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්ම පමණක් නො ව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ද අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහකාර අධිපතිවරුන් වන එස්. ගුණරත්න මහත්මිය සහ එච්.ඒ. කරුණාරත්න මහතා විසින් සමුළුවේ තාක්ෂණික සැසි දෙකෙහි මුලසුන හොබවන ලදී. මෙම තාක්ෂණික සැසිවල දී සාර්ව ආර්ථික ගැටලු සහ මූල්‍ය අංශයේ ගැටලු පිළිබඳ ව ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පැමිණි පර්යේෂකයන් මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂකයින් විසින් පර්යේෂණ පත්‍රිකා අටක් ඉදිරිපත් කරන ලදී. දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනය සහ රටේ පිළිගත් පර්යේෂණ ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත කීර්තිමත් බාහිර ඇගයීම් මණ්ඩලයක් විසින් මෙම පර්යේෂණ පත්‍රිකා තෝරා ගනු ලැබීය. හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා පිරිනමන ආචාර්ය ඩී.එස්. විජේසිංහ අනුස්මරණ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුවේ/බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ හර්ෂ පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරන ලද The Transition from Exchange Rate Targeting : The Case of Sri Lanka යන පර්යේෂණ පත්‍රිකාව සඳහා හිමි විය. 

 

Published Date: 

Monday, December 11, 2017