ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 අගෝස්තු

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූලි මාසයේ දී වාර්තා කළ 50.6 සිට 2016 ගෝස්තු මාසයේ දී 53.5ක් දක්වා දර්ශක අගයන් 2.9කින් ඉහළ ගියේ ය. මේ සඳහ‍ා නව ඇණවුම්, සේවා නියුක්තිය සහ නිෂ්පාදන දර්ශකවල වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක ඉහළ ගියේ ය. විශේෂයෙන් ම, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූලි මාසයේ දී වාර්තා කළ 57.8 සිට අගෝස්තු මාසයේ දී 61.2ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම ඉහළ යෑමෙන් 2016 අගෝස්තු මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප අංශවල සිදු වූ වර්ධනයන් සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම වර්ධනයට හේතු විය. පසුගිය මාසය සමඟ සැසඳීමේ දී අගෝස්තු මාසයේ දී නිම කිරීමට ඇති කාර්යයන් පහළ වැටුණි. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදු වුව ද නිම කිරීමට නියමිත කාර්යයන් පහළ යෑමෙන් සේවා අංශයේ කාර්යක්ෂමතා මට්ටම ඉහළ යෑමක් සහ වර්ධිත අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා ධාරිතාව නිදහස් කර ගැනීමක් පෙන්නුම් කරයි. මැයි මස උපරිම අගයක් වාර්තා කළ අය කරන මිල ගණන්වල (දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) ඉහළ යෑමේ වේගය අඛණ්ඩ ව මාස දෙකක් පහළ යෑමෙන් පසු 2016 අගෝස්තු මාසයේ දී ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, September 15, 2016