සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය එළඹෙයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ 2016 සැප්තැම්බර් 1 වන දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අන්‍යොන්‍ය අවබෝධතාව සහ එකිනෙකා පිළිබඳ ව දක්වන සහයෝගීතාව සහ සැලකිල්ල පදනම් කර ගෙන එක් එක් ආයතනයට අදාළ ජාතික ව්‍යවස්ථාපිත රාමුව තුළ හිඳිමින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම අවබෝධතා ගිවිසුම්වල‍ට එළැඹීමේ මූලික පරමාර්ථය වේ. 

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධ වන අතර එ මගින් ගෝලීය ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත. එ බැවින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට විරුද්ධ ව කටයුතු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකක අතර ගෝලීය සම්බන්ධීකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. මේ අනුව, පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද ඇතුළත් ව මූල්‍ය බුද්ධි ඒකක 32ක් සමඟ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත. 

Published Date: 

Thursday, September 22, 2016