ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ඔක්තෝබර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී 54.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.2ක අඩුවීමකි. ඒ අනුව, 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම අඩු වර්ධනය සඳහා විශේෂයෙන් ම පසුගිය මාසයේ ඉහළ වේගයකින් වර්ධනය වූ නව ඇණවුම් සහ සේවා නියුක්තිකයන්ගේ උප දර්ශක මේ මාසයේ දී සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීම හේතු විය. තව ද, 2017 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ ගැනුම් තොග යන උප දර්ශක ද අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශීය සැපයුම්කරුවන්ගේ අමු ද්‍රව්‍ය සඳහා අනෙකුත් රටවල්වලින් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් ඔවුන් ඇණවුම් සැපයීමට වැඩි කාලයක් ගත කිරීම හේතු විය. සමස්තයක් ලෙස සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පිළිඹිබු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා යහපත් අගයක් වාර්තා කරයි.

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ 57.0ක දර්ශක අගයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී 55.3 ක දර්ශක අගයක් වාර්තා විය. 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී සේවා අංශය අඩු වේගයකින් වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ව්‍යාපාර සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය විය. එම කාල පරිච්ඡේදයේ දී සේවා නියුක්තිය සහ නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගියේ ය. සේවා සැපයීමේ මංපෙත්වල වර්ධනය සහ නව තාක්ෂණික දියුණු කිරීම් හේතුවෙන් ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ සන්නිවේදන අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණි. විශ්‍රාමික සේවකයන් වෙනුවෙන් ඇති වූ ඇබෑර්තු සඳහා බඳවා ගැනීම් සිදු නො කිරීම සහ නවතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයේ අනියම් සේවකයන් සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් සේවා නියුක්තිය පහළ ගියේ ය. මෙය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ සමීක්ෂණය ආරම්භ කළ 2015 මැයි මස සිට නිරීක්ෂණය කළ විට සේවා නියුක්තියේ දෙවන වරට සිදු වූ පහළ යෑමයි. අය කරන මිල ගණන් සැලකීමේ දී එය 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී අඩු වේගයකින් ඉහළ ගිය අතර නවාතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයේ අය කරන මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබුණි. ප්‍රසාද දීමනා සහ උත්සව අත්තිකාරම් වැනි සෘතුමය ප්‍රතිලාභ හේතුවෙන් 2017 ඔක්තෝබර් මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 15, 2017