2016 සැප්තැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ සියයට 4.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා ඉහළ ගියේ ය. 2016 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 3.6 සිට 2016 සැප්තැම්බර් මස දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.3 සිට 2016 සැප්තැම්බර් මාසයේ දී දර්ශක අංක 113.5 දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා මධ්‍යසාර පාන හා දුම්කොළ කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ පලතුරු, ලොකු ළුෑණු, සහල් සහ පොල් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; අධ්‍යාපාන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ද 2016 සැප්තැම්බර් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර නිවාස, ජලය. විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන; සෞඛ්‍ය; ප්‍රවාහන; සන්නිවේදන; සහ විනෝදාත්මක හා සංස්කෘතික උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස පැවැති සියයට 6.0 සිට 2016 සැප්තැම්බර් මස වන විට සියයට 5.7 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 5.6 සිට 2016 සැප්තැම්බර් මස වන විට සියයට 5.7 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Friday, October 21, 2016