මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 7

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය, මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහාය වීමේ අරමුණ සමඟ අනුකූල වේ. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩුදුන් ප්‍රධාන සාධක පහත සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශිත ලෝක ආර්ථික ඉදිරි දැක්මේ (World Economic Outlook) නවතම දත්ත අනුව, ගෝලීය වෙළඳාම සහ නිෂ්පාදනයේ වර්ධනයන් හේතුවෙන් ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය මෙන්ම, කර්මාන්ත සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධන ප්‍රවණතාව සහ කෘෂිකාර්මික අංශය තරමක් යථාතත්ත්වයට පත්වීම හේතුවෙන් වසරේ දෙවන භාගය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය වඩා යහපත් ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණය ආශ්‍රිත බාධා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම මධ්‍යයේ සැපයුම් අංශයේ පවතින අවහිරතා හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අවදානම් තත්ත්වයක පැවතිය ද, අපේක්ෂිත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සහ මැදි කාලීනව විදේශ ආයෝජන ගලා ඒම් ඉහළ නංවා ගැනීම තුළින් ආර්ථිකයේ ස්ථායීතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරයි.

කාලගුණය ආශ්‍රිත අවහිරතා මගින් දේශීය ආහාර මිල ගණන් මත අඛණ්ඩවම ඇති කරන ලද අහිතකර බලපෑම් පිළිබිඹු කරමින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2013 = 100) මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013 = 100) මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ ගියේය.  කෙසේ වෙතත්, ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් සෘජු බලපෑමක් ඇති මූලික උද්ධමනය වඩා හිතකර මට්ටමක පැවති අතර, එමගින් මෑත කාලීනව මතුපිට උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑම් සැපයුම් අංශයේ සාධක හේතුවෙන් ඇති වූ කෙටි කාලීන ඉහළ යෑමක් බව තවදුරටත් පිළිබිඹු විය. ඒ අනුව, බදු සංශෝධන හේතුවෙන් උද්ධමනය මත එකවරක් පමණක් ඇති වන බලපෑම පහව යෑම මෙන්ම සුදුසු මුදල් තත්ත්වය සමඟ 2017 දෙසැම්බර් මාසයේ සිට උද්ධමනය මන්දගාමී වී 2018 වසරේදී අපේක්ෂිත මට්ටම දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් අංශය සැලකූ විට, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය අපේක්ෂිත පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව මන්දගාමී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය කල්පිරීමත් සමඟ රජය වෙත ලබාදුන් ශුද්ධ ණය ප්‍රමාණය ද අඩුවීමක් වාර්තා කළේය.  ප්‍රධාන රාජ්‍ය සංස්ථා කිහිපයක් ණය ආපසු ගෙවීමත් සමඟ, 2017 ජූනි මාසයේ සිට දක්නට ලැබුණු රාජ්‍ය සංස්ථාවලට ලබාදුන් ණය අඩුවීමේ ප්‍රවණතාව සැප්තැම්බර් මාසයේදී ද අඛණ්ඩව දක්නට ලැබිණ.  ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ වාණිජ බැංකු සතු ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යෑමත් සමඟ සමස්ත බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය 2017 සැප්තැම්බර් මාසයේදී මෙතෙක් පැවති හිඟ තත්ත්වයේ සිට ධන තත්ත්වයක් වාර්තා කළේය.  ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යෑම ද පුළුල් මුදල් සැපයුමේ (M2b) ප්‍රසාරණය සඳහා දායක විය.  මේ අතර, දේශීය මුදල් වෙළඳපොළ තුළ රුපියල් ද්‍රවශීලතාව ඉහළ යෑම සඳහා ප්‍රතිචාර දක්වමින්, මෑත මාසවලදී ඇතැම් බැංකු පොලී අනුපාතික පහළ ගියේය.

විදේශීය අංශය සැලකූ විට, වසරේ පළමු මාස අට තුළදී අපනයන අංශය ළඟා කරගත් ප්‍රගතිය අඩාල කරමින් ඉන්ධන, සහල් සහ රත්රන් ආනයන ඉහළ යෑම හේතුවෙන් ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, වසරේ පළමු මාස අට තුළදී සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත් පුළුල් විය. සංචාරක පැමිණීම් සහ එයට අදාළ විදේශ විනිමය ගලා ඒම් සමුච්චිත වශයෙන් සලකා බැලූ විට ඉහළ ගිය ද, මැද පෙරදිග කලාපයේ භූදේශපාලනික අවිනිශ්චිතතා හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත මෙන්ම කොළඹ කොටස් හුවමාරුව වෙත ද අඛණ්ඩව විදේශ ආයෝජන ප්‍රවාහ ලැබීම් දක්නට ලැබිණ. මෙම වර්ධනයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය වෙළඳපොළ වෙතින් ශුද්ධ පදනම මත එ.ජ. ඩොලර් බිලියන 1.2 ක විදේශ විනිමය මිලදී ගත් අතර, දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසර අවසානයේදී පැවති එ.ජ. ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව 2017 ඔක්තොබර් මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 7.5 දක්වා ඉහළ ගියේය.  විනිමය අනුපාතිකය තීරණය වීමේ නම්‍යශීලී බව වර්ධනය වීම හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි සමස්ත අවප්‍රමාණය වීම 2016 වසර තුළදී වාර්තා වූ සියයට 3.8 හා සාපේක්ෂව 2017 වසරේ පළමු මාස දහය තුළදී සියයට 2.5 දක්වා සීමා වී ඇත. 

මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -                 සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                       සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                             සියයට 7.50                                                                                                  

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2017 දෙසැම්බර් මස 28 වැනි  දින නිකුත් කිරීමට නියමිතය.

 

Published Date: 

Tuesday, November 7, 2017