විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 162.6ක දෙවන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදා හරියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (ආසන්න වශයෙන් එකසත් ජනපද ඩොලර් මිලියන 162.6ක) දෙවන වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදි. 

විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රධාන අරමුණ වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා උපකාර කිරීමයි. සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විශේෂයෙන් ම වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය කිරීමට සහ විදේශීය අංශය මත වූ පීඩනය අඩු කිරීමට දායක වන ලද රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අරමුණු කර ගත් ක්‍රියාමාර්ග සහ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ඇගැයීමට ලක් කළේ ය. ජූනි මස අග භාගය දක්වා වූ සියලු ම ප්‍රමාණාත්මක කාර්ය සාධන දර්ශක සපුරා ගැනීම සඳහා රජය සහ අනෙකුත් ආයතන විසින් ගනු ලැබූ උත්සාහයන් දූත පිරිසගේ ඇගැයීමට ලක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාමාජිකයන් ද දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ සපුරා ගැනීම් පිළිබඳ ව ප්‍රසාදය පළ කර ඇත. 

දෙවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගත් මුළු ණය ප්‍රමාණය එන්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. විස්තීර්ණ ණය පහසුකම තවදුරටත් පවත්වා ගැනීම රටේ වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීම, තරගකාරිත්වය වැඩි කිරීම, විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කිරීම සහ එ මගින් මැදි කාලීන වර්ධන අපේක්ෂාවන් සපුරා ගැනීමට දායක වනු ඇත.

Published Date: 

Monday, November 21, 2016