2016 ඔක්තෝබර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.5 සිට 2016 ඔක්තෝබර් මාසයේ දී දර්ශක අංක 114.7 දක්වා ඉහළ ගියේ ය. මෙම මාසික ඉහළ යෑම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, දෙහි සහ එළවළු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. තව ද, මධ්‍යසාර පාන සහ දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; විනෝදාත්මක සහ සංස්කෘතික; ආපනශාලා සහ හෝටල්; සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ද 2016 ඹක්තෝබර් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන; සෞඛ්‍යය; ප්‍රව‍ාහන; සන්නිවේදන; සහ අධ්‍යාපන; උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙන් ම වාර්ෂික සාමාන්‍ය පදනම මත 2016 ඹක්තෝබර් මාසයේ දී ද සැප්තැම්බර් මස පැවැති සියයට 5.7 හි නො වෙනස් ව පැවැතුණි. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, November 21, 2016