2017 සැප්තැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ පැවති සියයට 7.9 ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.8  දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.3 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී දර්ශක අංක 123.3 දක්වා ඉහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ පොල්, රතුළූණු, සහල්, දෙහි, ඇතැම් පළතුරු වර්ග, ලොකු ළූණු සහ සීනි මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර එළවළු, මාළු, සුදුළූණු සහ මයිසූර් පරිප්පුවල මිල ගණන් සුළු පහළ යෑමක් වාර්තා කරන ලදී. රෙදිපිළි හා පාවහන්‍; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන (එල්.පී. ගෑස්); ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; අධ්‍යාපන (පාසල් ගාස්තු (ජාත්‍යන්තර)) ; විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මාසයේ දී සන්නිවේදන (අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු) උපකාණ්ඩයෙහි මිල ගණන් සුළු වශයෙන් පහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ (බුලත්) උපකාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගණන් ද 2017 සැප්තැම්බර් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, සෞඛ්‍ය; ප්‍රවාහන; විනෝදාත්මක හා සංස්කෘතික; සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි. 

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ දී පැවති සියයට 4.8 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Monday, October 23, 2017