ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 නොවැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 1.9කින් ඉහළ යෑමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. තව ද, නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. මේ අතර, එළඹෙන උත්සව සමය සඳහා රැස් කර ගත් තොග භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය නොවැම්බර් මාසයේ දී පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ 59.3ක දර්ශක අගයක සිට නොවැම්බර් මාසයේ දී 59.7ක දර්ශක අගයක් දක්වා ඉහළ ගියේ ය. ගැනුම් කළමනාකරුවක්ගේ දර්ශකයේ සිදු වූ මෙම ඉහළ යෑමෙන් 2016 නොවැම්බර් මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂ ව අඛණ්ඩ ව වර්ධනය වූ බව පෙන්නුම් කරයි. සේවා නියුක්තිය සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල සිදු වූ වර්ධනයන් හේතු කොට ගෙන සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ ගියේ ය. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශක පසුගිය මාසය හා සැසඳීමේ දී 2016 නොවැම්බර් මාසයේ දී අඩු වේගයකින් වර්ධනය විය. එ නමුත්, නිම කිරීමට ඇති කාර්යයන් 2016 ඔක්තෝබර් මාසයට වඩා අඩු වේගයකින් නොවැම්බර් මාසයේ දී පහළ ගියේ ය. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2016 නොවැම්බර් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, December 15, 2016