කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8.0හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 8.7හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, එම කාලය තුළ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7හි සිට සියයට 8.0 දක්වා ඉහළ ගියේය.

2026 ඔක්තෝබර් මාසයේ දී, කො.පා.මි.ද. මාසික පදනම මත උද්ධමනය සියයට 0.35කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.33කින් දායක වූ අතර, එයට මූලික වශයෙන් ආපනශාලා සහ හෝටල් කාණ්ඩයේ මිල ඉහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩය මෙම ඉහළ යාමට ප්‍රතිශතාංක 0.02ක සුළු දායකත්වයක් දැක්වීය.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.4හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6ක් දක්වා ඉහළ ගියේය.

2026 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති වාරයේ දී සිදු කරන ලද උද්ධමන පුරෝකථනවලට අනුව, මතුපිට උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කමක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව ක්‍රමයෙන් සියයට 5ක ඉලක්කගත මට්ටම කරා පහළ යනු ඇත. එමෙන්ම උචිත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදි කාලීනව, උද්ධමනය ඉලක්කගත මට්ටම අවට පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයේ බලපෑම් සහ එමගින් ඇති කරන වක්‍ර බලපෑම් ක්‍රමයෙන් පහව යනු ඇතැයි යන උපකල්පනය ඇතුළු අනෙකුත් උපකල්පන මත මෙම පුරෝකථන පදනම් වී ඇත.

PDF

 

Published Date: 

Friday, October 30, 2026