ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 සැප්තැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ දී 59.0ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.6ක වර්ධනයකි. ඒ අනුව, 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම ඉහළ යෑම සඳහා පසුගිය මාසයේ පහත වැටුණු සේවා නියුක්තිකයන්ගේ උප දර්ශකය, නව ශ්‍රමිකයන් බඳවා ගත් බැවින් යථා තත්ත්වයට පත්වීම විශේෂයෙන් ම හේතු විය. තව ද, 2017 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ නව ඇණවුම් යන උප දර්ශක ඉහළ වේගයකින් වර්ධනය විය. පසුගිය මාසයේ දී දක්නට ලැබුණු තොග අතිරික්තය හේතුවෙන් මෙම මාසයේ දී ගැනුම් තොග උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය විය. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා යහපත් අගයක් වාර්තා කරයි.

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 60.1ක දර්ශක අගයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී 57.0ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී සේවා අංශය අඩු වේගයකින් වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශක 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී සුළු වශයෙන් වර්ධනය විය. ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකය සැලකිය යුතු ලෙස පහළ ගිය නමුත් 50 සීමාවට ඉහළින් පැවැතුණි. 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යාපාර අඩු වේගයකින් වර්ධනය වූ අතර නිම කිරීමට ඇති කාර්යයන් පහළ යන ලදී. කාලගුණික ප්‍රවණතා හේතුවෙන් නවාතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පහළ යෑමක් වාර්තා විය. මේ අතර, අන්තර්ජාල භාවිතය මත පනවා තිබු බදු ඉවත් කිරීමත් සමග සන්නිවේදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් අපේක්ෂා කෙරේ. අය කරන මිල ගණන් සැලකීමේ දී එය 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී අඩු වේගයකින් ඉහළ ගියේ ය. ප්‍රසාද දීමනා සහ උත්සව අත්තිකාරම් වැනි සෘතුමය ප්‍රතිලාභ හේතුවෙන් 2017 සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය උප දර්ශකය සුළු වශයෙන් ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, October 16, 2017