විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය.
2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 149ක හිඟයක් වාර්තා කළ අතර, එය අඛණ්ඩව වාර්තා වූ තෙවන මාසික හිඟය විය. 2025 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගය තුළ දී වූ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 245ක් ලෙස වාර්තා විය.
අපනයන ආදායමේ ඇති වූ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම නිසා 2026 වසරේ ජූනි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පුළුල් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ පැවති එ.ජ. ඩොලර් බිලියන 3.3ට සාපේක්ෂව, 2026 වසරේ පළමු භාගය තුළ දී සමුච්චිත වෙළඳ හිඟය එ.ජ. ඩොලර් බිලියන 5.5ක් දක්වා පුළුල් විය.
ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම පිළිබිඹු කරමින්, 2026 වසරේ ජූනි මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 40.2කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) ඉහළ ගිය ද, එම වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 886 සිට මැයි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 536 දක්වාත්, තවදුරටත් ජූනි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 465 දක්වාත් අඛණ්ඩව අඩු විය. 2026 වසරේ පළමු භාගය තුළ දී සමස්ත ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් එ. ජ. ඩොලර් මිලියන 3,168ක් වූ අතර, එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී සියයට 58.8ක (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) වැඩි වීමකි.
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ලක්ෂ්යමය පදනම මත සියයට 27.1කින් පහළ ගොස් එ.ජ. ඩොලර් මිලියන 182ක් විය. මේ අතර, 2026 වසරේ පළමු භාගය තුළ දී මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,254ක් වූ අතර, එය 2025 වසරේ දෙවන භාගය තුළ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,572ට වඩා අඩු අගයක් විය.
2026 වසරේ ජූනි මාසයේ දී ආනයන මිල ගණන්වල වැඩිවීම අපනයන මිල ගණන්වල වැඩිවීමට වඩා වේගවත් වූ බැවින්, 2026 වසරේ ජූනි මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගියේය. එමෙන් ම, 2026 වසරේ පළමු භාගය තුළ දී වෙළඳ මිල අනුපාතය පෙර වසරේ පළමු භාගයට සාපේක්ෂව පහළ ගියේය.
2026 වසරේ ජූනි මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 162ක් දක්වා පහළ ගිය අතර, එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 33.8ක අඩුවීමකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සේවා අංශය වෙත වූ ලැබීම්වලට වඩා සේවා අංශය තුළින් වූ ගෙවීම් වඩාත් සීඝ්රයෙන් වර්ධනය වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගය තුළ දී සේවා ගිණුමේ සමුච්චිත අතිරික්තය සියයට 22.4කින් අඩු විය.
මැද පෙරදිග ගැටුම් හේතුවෙන් සංචාරක ක්ෂේත්රයට එල්ල වූ බලපෑම තවදුරටත් පැවතීම හේතුවෙන් 2026 වසරේ ජූනි මාසයේ දී සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 9.9කින් පහළ ගියේය. 2025 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 1,168,044 හා සැසඳීමේ දී 2026 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,146,573ක් දක්වා සුළු වශයෙන් පහත වැටුණි. ඒ අනුව, 2026 වසරේ ජූනි මාසයේ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 151ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය පෙර වසරට වඩා සියයට 10.8ක අඩු වීමකි. තවද, 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,511ක් දක්වා සියයට 11.8කින් පහළ ගියේය.
2026 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 695ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 9.3ක වැඩි වීමකි. සමුච්චිත ප්‍රේෂණ ලැබීම් 2026 වසරේ පළමු භාගය තුළ දී 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 4.6ක් දක්වා සියයට 23.2කින් වර්ධනය විය.
2026 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 30.2ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 0.4ක සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2026 වසරේ ජූනි මස අවසානය වන විට චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.5ක් විය.
මැද පෙරදිග ගැටුම් හේතුවෙන් විදේශීය අංශය මත එල්ල වූ අඛණ්ඩ පීඩනය පිළිබිඹු කරමින්, 2026 වසරේ ජූලි මස අග දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 7.8කින් අවප්‍රමාණය විය. කෙසේ වෙතත්, මෑතක දී ක්‍රියාත්මක කරන ලද මුදල්, රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති පියවරවලින් පසුව රුපියලෙහි උච්චාවචනය අවම වීමත් සමඟ, මෑත කාලයේ දී රුපියල අවප්‍රමාණය වීමේ සීඝ්‍රතාව අඩු වී ඇත..








