නිරාකරණය

සමස්ත විග්‍රහය 

නිරාකරණය යනු යම් මූල්‍ය ආයතනයක අසාර්ථක වීමක් සිදු වූ විට මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑම, එවැනි මූල්‍ය ආයතනයක තීරණාත්මක කර්තව්‍යයන් අඛණ්ඩ ව පවත්වා ගැනීම,  තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ මහජන අරමුදල් භාවිතය අවම කිරීම යන අරමුණු සමග, නිරාකරණ අධිකාරිය විසින් ක්‍රමානුකූල ව ගන්නා ක්‍රියාමාර්ගවල එකතුවක් වේ. 

බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක බිඳ වැටීමක දී එම ආයතනයේ තීරණාත්මක කර්තව්‍යයන් අඛණ්ඩ ව පවත්වාගෙන යෑම කළමනාකරණය කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කරගැනීම සහතික කිරීම නිරාකරණයෙහි අරමුණු වේ. එමෙන්ම, රජයේ මූල්‍ය සහාය අවශ්‍ය වීම අවම කිරීම මඟින් මහජන මුදල් ආරක්ෂා කිරීම, තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ආයතනික වත්කම් අගය අනිසි ලෙස පහත වැටීම වැළැක්වීමද නිරාකරණයේ අරමුණු වේ. සමස්තයක් ලෙස, මෙම ක්‍රියාදාමය මගින් පද්ධතිමය බාධා අවම කිරීමෙන් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් සහ කාර්යක්ෂම නිරාකරණ ක්‍රියාවලියකට පහසුකම් සපයනු ලබයි. 

ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක පැවැත්ම, කාර්යක්ෂ ම නියාමනය, ශක්තිමත් මූල්‍ය ආයතන, යහ පාලනය, මැනවින් ක්‍රියාත්මක වන කෙරෙන වෙළෙඳපොළ සහ ශක්තිමත් ගෙවීම් පද්ධති මත ‍රදා පවතී. මෙම පුළුල් ස්ථායිතා අරමුණු තුළ, අවශ්‍ය අවස්ථාවල දී අසාර්ථක වන මූල්‍ය ආයතන ක්‍රමානුකූලව නිරාකරණය කිරීම හා මැදිහත්වීම හරහා මූල්‍ය ස්ථායීතාව කෙරෙහි ඇති අවදානම් තත්ත්ව හඳුනාගැනීම, වැළැක්වීම සහ අවම කිරීම, නිරාකරණ ක්‍රියාවලිය මගින් සිදු වේ.

නිරාකරණයේ නෛතික රාමුව

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව නිරාකරණ අධිකාරිය ලෙස හඳුනා ගැනෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධික්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන සඳහා නිරාකරණ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට සහ නිරාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබා දී ඇත.  එවැනි ක්‍රියාමාර්ග මගින් මහජන අරමුදල් සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කළ යුතු ය. තව ද, මහ බැංකු පනත මගින් නිරාකරණ සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීමේ දී තොරතුරු බෙදා ගැනීම සහ සහයෝගීතාව සඳහා විදේශීය අධීක්ෂකයන් සහ නිරාකරණ බලධාරීන් සමග ගිවිසුම්වලට එළඹීම උදෙසා මහ බැංකුවට තවදුරටත් බලය ලබා දී ඇත. 

2023 සැප්තැම්බර් 15 වන දින බලාත්මක කරන ලද සහ 2023 නොවැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි බලපත්‍රලාභී බැංකු සඳහා වන විස්තරාත්මක නිරාකරණ රාමුව අන්තර්ගත කොට ඇත. බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි 57 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පනතේ I වන සහ II වන කොටස් බලපත්‍රලාභී මුදල් සමාගම්වලට ද අදාළ වන පරිදි, 2025 අප්‍රේල් 16 දිනැති අංක 2432/ 02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නියෝග නිකුත් කරන ලදී. 

මෙම පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අවශ්‍ය අවස්ථාවල දී රජයට, බැංකුවක් හෝ මුදල් සමාගමක් ප්‍රාග්ධන, ද්‍රවශීලතා, බුන්වත් වීම් හෝ වෙනත් අවදානම්වලට මුහුණ දෙන අවස්ථාවල දී එකී ආයතනය නැවත ක්‍රියාත්මක ආයතනයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම, තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් කාලීන නිරාකරණ ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය පදනම සපයයි. බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි 14 වන වගන්තිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සතු විශේෂ නිරාකරණ බලතල පැහැදිලි කර ඇත. ඒ අනුව එම වගන්තිය යටතේ නිරාකරණයට ලක්වන මූල්‍ය ආයතනයක පාලනය භාර ගැනීම සඳහා අද්මිනිස්ත්‍රාසිකරුවෙකු පත් කිරීම, එහි කොටස් පැවරීම සහ තීරණාත්මක කර්තව්‍යයන් අඛණ්ඩ ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පරිදි තෝරාගත් හෝ සියලුම වත්කම් සහ වගකීම් පැවරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබා දී ඇත. එමෙන් ම වත්මන් හෝ නව කොටස් හිමියන් හරහා මූල්‍ය ආයතනය ප්‍රතිප්‍රාග්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හෝ අවශ්‍ය වූ විට, සේතු බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රාග්ධනය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි ය. ඊට අමතර ව, නිරාකරණ ක්‍රියාවලියක් අවශ්‍ය බව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව මත පදනම් ව නිරාකරණ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් තාවකාලික මූල්‍ය සහායක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව පවතී. 

 

නිරාකරණ ක්‍රියාවලිය ස්ථායීතාවට සහාය දක්වන්නේ කෙ‍සේ ද?  

    • ශ්‍රී ලංකා මහ බැංකුව අදියර වශයෙන් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා නිරාකරණ සැලසුම් සකස් කිරීම හේතුවෙන් අර්බුදයක් ඇති වීමට පෙර ඒ සඳහා පවතින විකල්ප හඳුනා ගැනීම.    
    • අවදානම් උද්ගත වූ විට (ප්‍රාග්ධනය, ද්‍රවශීලතාව, බුන්වත් බව හෝ වෙනත් කරුණු සම්බන්ධ) මූල්‍ය ආයතනය ස්ථායී කිරීමට සහ හැකියාව පවතී නම් නැවත එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි ය.   
    • මෙම ක්‍රියාමාර්ග මගින් මහජන අරමුදල් සම්බන්ධයෙන් සැලකිය යුතු අවදානමක් ඇති වීම වළක්වන අතරතුර තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමස්ත පද්ධතිය කෙරෙහි දක්වන විශ්වාසය පවත්වා ගැනීම ද අරමුණු වේ.     
    • මෙම රාමුව මගින් විදේශීය අධීක්ෂකරුවන් සහ නිරාකරණ බලධාරීන් සමග තොරතුරු බෙදා ගැනීමට සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව සලසයි.      

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ අධිකාරියට යටත් වන්නේ කවුරුන් ද? 

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්:     

ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව මූල්‍ය ආයතන නිරාකරණයේ අධිකාරි බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර, බැංකු (විශේෂ විධිවිධාන) පනත මගින් ද බලපත්‍රලාභී බැංකු නිරාකරණයේ අධිකාරි බලය ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා ඇත.   

බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි නිරාකරණ විධිවිධාන (I සහ II කොටස්) පසු කාලීන ව බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා ද බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ රාමුව, මේ වනවිට එහි විස්තීරණ බව සහ අඛණ්ඩතාව වර්ධනය කරමින්  බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් යන ද්විත්වය ම ආවරණය කරයි.  

 

විශේෂඥ මණ්ඩල පත් කිරීම 

බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා නිරාකරණ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරයි. මෙම ක්‍රියාමාර්ග ඵලදායීව ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂඥ මණ්ඩල පත් කරන අතර කැමැත්ත පළ කිරීමේ පත්‍රිකා හරහා ස්වාධීන විශේෂඥයින් සම්බන්ධ කර ගනී. කැමැත්ත පළ කිරීමේ පත්‍රිකා කැඳවීම, ස්වාධීනත්වය පරීක්ෂා කිරීම, තාක්ෂණික හැකියාවන් ඇගැයීම සහ පාලක මණ්ඩලයේ අනුමැතිය හරහා විශේෂඥ මණ්ඩල පත් කෙරේ.  

(1)ස්වාධීන වෘත්තියමය තක්සේරුකරුවන්ගේ මණ්ඩලය 

මෙය, බිඳ වැටෙමින් පවතින හෝ බිඳ වැටීමට ඉඩ ඇති මුල්‍ය ආයතන නිර්ණය කිරීම, නිරාකරණ විසඳුම් තක්සේරු කිරීම සහ ‘කිසිදු ණය හිමියෙකු ඈවර කිරීමකට වඩා අඩුවෙන් පාඩු නොලබන’ බව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන විචක්ෂණශීලී, යථාර්වාදී සහ කාලෝචිත ඇගැයීම් ලබා දීම සඳහා බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි 16 වන වගන්තිය යටතේ පිහිටුවා ඇත. බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 16(5) වගන්තියට අනුව,  බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණ කිරීමේ කටයුතුවලට අදාළ තක්සේරු කිරීම් සිදු කිරීමේ අරමුණින් 2025.08.06 සිට ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන වෘත්තියමය තක්සේරුකරුවන්ගේ මණ්ඩලයක් පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇත. පත් කරන ලද මණ්ඩල පිළිබඳ තොරතුරු  මෙමගින් ලබා ගත හැකිය.

(2)අද්මිනිස්ත්‍රාසිකරුවන්ගේ මණ්ඩලය (පත් කිරීමට නියමිත)  

ආයතනයක් නිරාකරණය කිරීම සිදු කරන අවස්ථාවක වහා ම යෙදවිය හැකි අද්මිනිස්ත්‍රාසිකරුවන් පත් කිරීම සඳහා බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි 18 වන වගන්තිය යටතේ මෙය ස්ථාපිත කිරීමට නියමිත ය. පත් කරනු ලබන්නන් මෙහෙයුම් ස්ථාවර කිරීම, වටිනාකම් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සහ නියමිත කාල රාමු තුළ වාර්තා කිරීම සිදු කරනු ලබයි. තෝරා ගැනීමේ දී සුදුසු සහ යෝග්‍ය බව, ස්වාධීන බව සහ තහවුරු කළ නායකත්වය බෙහෙවින් සලකා බලනු ලබන අතර සෑම පත්වීමකට ම පැහැදිලි විෂය පථයක්, සිදු කළ යුතු දේ සහ අන්තර් ගැටුම් පරීක්ෂාවන් ඇතුළත් වේ. 

(3)සම්බන්ධීකාරක මණ්ඩලය (පත් කිරීමට නියමිත)

සුදුසු පැවරුම්ලාභීන් සහ ලංසුකරුවන් හඳුනා ගැනීම සහ සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට නිරාකරණ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට සම්බන්ධීකාරක මණ්ඩලය සහාය වෙයි.  ඔවුන්ගේ අරමුණ මූලික වශයෙන්  වත්කම් සහ වගකීම් පැවරීම, කොටස් පැවරීම හෝ ඒකාබද්ධ කිරීම් ක්‍රියාත්මක කිරීම වැනි නිරාකරණ උපකරණ භාවිතය සම්බන්ධ වන අතර ම මෙම ක්‍රියාවලි කාර්යක්ෂම ව සහ විනිවිදභාවයෙන් යුතු ව ක්‍රියාත්මක කෙරෙන බවට සහතික වීම සිදු කරයි. 

 

රෙගුලාසි

මෙම කොටස මගින් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල නිරාකරණය හා සම්බන්ධ පනත්, විධාන, රෙගුලාසි, මාධ්‍ය දැනුම්දීම් සහ මාධ්‍ය නිවේදන සඳහා වෙබ් සබැඳි සපයයි. 

පනත්:    

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත  

නි‍යෝග:  

29.10.2024    2024 අංක 01 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ නියෝගය:  බලපත්‍රලාභී බැංකු සඳහා නිරාකරණ සැලසුම් සඳහා වන දත්ත සටහන් 

17.09.2025   2025 අංක 01 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ නියෝගය: බලපත්‍රලාභී බැංකු සඳහා වන ප්‍රතිසාධන සැලසුම්

චක්‍රලේඛ : 

ගැසට් පත්‍ර:    

16.04.2025   අංක 2432/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය: 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 57 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගය 

මාධ්‍ය නිවේදන:

04.07.2025   2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම

04.01.2026   නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට පත් කරන ලද අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය, 2023 අංක දරන 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ දීර්ඝ කිරීම

මාධ්‍ය දැනුම්දීම්:

08.10.2025   බලපත්‍රලාභී මූල්‍ය ආයතනවල නිරාකරණ කටයුතු සඳහා ස්වාධීන වෘත්තීමය තක්සේරුකරුවන්ගේ මණ්ඩලයක් පත් කිරීම 

04.01.2026   නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරුගේ ධූර කාලය දීර්ඝ කිරීම පිළිබඳ මහජනතාව වෙත කෙරෙන් නිවේදනය 

 

අප අමතන්න

ලිපිනය:

ඩී.ආර්. කරුණාරත්න
අධ්‍යක්ෂිකා
තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව,
නො.30, ජනාධිපති මාවත,
කොළඹ 01,
ශ්‍රී ලංකාව

දුරකථන: +94112477261 
ෆැක්ස්: +94112477748

 

නිති අසන පැන(FAQs)