මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 6

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 සැප්තැම්බර් මස 25 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය ‍කළේ ය.

ඉහත තීරණය ගැනීමෙහිලා මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් ප්‍රධාන කරුණු සැලකිල්ලට ගනු ලැබී ය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2017 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා කළ සියයට 3.8ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂ ව 2017 වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.0ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය.  අයහපත් කාලගුණික තත්ත්ව සහ දුර්වල විදේශ ඉල්ලුම ආර්ථික වර්ධනය කෙරෙහි අඛණ්ඩ ව බලපෑම් ඇති කළේ ය. එකතු කළ අගය අනුව සලකා බලන විට ඉදිකිරීම්, පතල් හා කැණීම්, මූල්‍ය සේවා ක්‍රියාකාරකම්, හා ‍තොග සහ සිල්ලර වෙළඳාම් යන උප අංශ වසරේ පළමු භාගයේ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. කෙටිකාලීන වර්ධන අපේක්ෂා සඳහා අඛණ්ඩ ව බාධා ඇති වුව ද, ආර්ථිකයේ ඉදිරි ක්‍රියාකාරකම් නිරූපණය කරනු ලබන දර්ශක මගින් මැදිකාලීන ආර්ථික අපේක්ෂාවන්හි වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර යෝජිත ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සහ අපේක්ෂිත විදේශ ආයෝජන ලැබීම් තුළින් එම වර්ධන අපේක්ෂා ළඟා කර ගත හැකි වනු ඇත.

බදු සංශෝධනවල පදනම් බලපෑම මෙන් ම, ආහාර අයිතමවල ඉහළ මිල ගණන් පිළිබිඹු කරමින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2013=100) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) මත පදනම් ව මනිනු ලබන මතුපිට උද්ධමනය 2017 අගෝස්තු මාසයේ දී ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය  සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද 2017 අගෝස්තු මාසයේ දී ඉහළ යෑමක් වාර්තා කළේ ය. කෙ සේ වුව ද,  2016 වසර ආරම්භයේ සිට පැවති දැඩි මුදල් තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2017 වසර අවසානයේ දී උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා අඩු වී ඉන් පසු ව ස්ථාවර ව පවතිනු ඇතැ යි පුරෝකථනය කොට ඇත. 

දේශීය වෙළඳපොළෙහි පවත්නා ඉහළ නාමික සහ මූර්ත ණය පොලී අනුපාතිකවලට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2016 ජූලි මාසයේ සිට ක්‍රමානුකූල ව මන්දගාමී විය.  වසරේ මේ දක්වා වූ කාල සීමාව තුළ දී මහ බැංකුව විසින් රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුව ද බැංකු අංශය මගින් රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතිණි. වසර තුළ දී රාජ්‍ය සංස්ථාවලට ලබාදුන් ණය ප්‍රසාරණයෙහි මන්දගාමී වීමක් දක්නට ලැබිණ.  කෙ සේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යෑම සහ වාණිජ බැංකු සතු විදේශීය වගකීම් අඩු වීමෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකු අංශයේ ශුද්ධ විදේශීය වත්කම් ප්‍රසාරණය වීම හේතුවෙන් පුළුල් මුදල් (M2b) වර්ධනය අඛණ්ඩ ව ඉහළ මට්ටමක පැවතිණි.  මේ අතර රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ඵලදා අනුපාතිකවල මෑත කාලීන ව සිදු වූ අඩු වීමට ද ප්‍රතිචාර වශයෙන් තැන්පතු සහ ණය‍ පොලී අනුපාතික කිසියම් ස්ථායී වීමක් පෙන්නුම් කරයි.

විදේශ අංශය සැලකූ විට 2017 ජූලි මාසය වන විට අඛණ්ඩ ව පස්වන මාසයටත් අපනයන ආදායම ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. කෙ සේ වෙතත්, කාලගුණික තත්ත්වයේ අහිතකර බලපෑම මත බලශක්ති උත්පාදනයේ සහ ආහාර සැපයුමේ ඇති වූ අවහිරතා හේතු කොට ගෙන ඉහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2017 ජූලි මාසය වන විට සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත් පුළුල් විය.  සංචාරක පැමිණීම් සහ ඒ ආශ්‍රිත විදේශ විනිමය ලැබීම් ද වසරේ මේ දක්වා කාලය තුළ ඉහළ ගියේ ය. 2017 ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද ඉහළ ගිය නමුත් මැද පෙරදිග කලාපයේ මන්දගාමී ආර්ථික ක්‍රියාකාරීත්වය සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහළ ගියේ ය. රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත මෙන් ම කොළඹ කොටස් හුවමාරුව වෙත ද අඛණ්ඩ ව විදේශ ආයෝජන ප්‍රවාහ ලැබීම් දක්නට ලැබිණ. මෙම වර්ධනයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය වෙළඳපොළ වෙතින් ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක විදේශ විනිමය මිල දී ගත් අතර දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසර අවසානයේ දී පැවති  එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මස 21 වැනි දින වන විට  එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගියේ ය.  විනිමය අනුපාතිකය තීරණය වීමේ නම්‍යශීලී බව හේතු කොට ගෙන දේශීය විදේශීය විනිමය වෙළඳපොළ මත වන පීඩනය බොහෝ දුරට අඩු වී ඇති අතර  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල 2016 වසරේ දී අවප්‍රමාණය වූ සියයට 3.8ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් 22 වැනි දින වන විට සියයට 2.0කින් අවප්‍රමාණය වී ඇත.   

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -            සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                 සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                      සියයට 7.50

මී ළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2017 නොවැම්බර් මස 7 වැනි දින නිකුත් කිරීමට නියමිත ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, September 26, 2017