2017 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවැති සියයට 6.3 හි නො වෙනස් ව පැවැතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ජූනි මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.4 හි සිට 2017 ජූලි මාසයේ දී දර්ශක අංක 122.4 දක්වා පහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම, මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ පොල්, එළවළු, මාළු, අමු මිරිස්, සුදු ළුෑණු සහ රතුළුෑණු මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ, සෞඛ්‍ය උප කාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගණන් පහළ ගියේ ය. රෙදිපි‍‍ළි හා පාවහන්‍; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; ප්‍රවාහන‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ (බස් ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ (පුවක්) උප කාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගණන් ද 2017 ජූලි මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන;  සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවතුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූනි මාසයේ දී පැවති සියයට 4.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, August 21, 2017