ප්‍රාථමික අලෙවිකරුවකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිිට බල පැවැත්වෙන පරිදි මාස හයක (6) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදි. 

පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදු කරන ලද ගනුදෙනුවලට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත. 

තව ද, ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරණ බැංකු පනතේ II උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදු කරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නො වන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. ඒ අනුව, බැංකු පනතේ II උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූල ව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ තවදුරටත් ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ඇත. එ සේ ම, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිසි පරිදි ගනු ලැබේ. 

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගී වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙ සේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවා සඳහා කිසිදු බලපෑමක් ඇති නො වේ. 

 

Published Date: 

Tuesday, August 15, 2017