ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකක සමඟ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ 2017 ජූලි 17 - 21 දිනයන්හි දී කොළඹ දී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුවේ දී අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ මූලික පරමාර්ථය වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග මහතා චීන මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලුවෝ යුබිං මහත්මිය සහ භූතාන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානි නාජෝ ඩෝජි මහතා සමඟ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී. 

චීනය 2001 වසරේ දී මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර 2007 වසරේ දී මූල්‍ය කාර්ය සාධක බලකායේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පත් විය. 2010 ඔක්තෝබර් මාසයේ දී භූතාන මහ බැංකුව යටතේ ආරම්භ කරන ලද භූතාන මූල්‍ය බුද්ධි ඒකකය 2011 වසරේ දී මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි. 

ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධතාවන් පවතින සහ ගෝලීය වශයෙන් සිදු වන අපරාධයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා එක් එක් රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස ලොව පුරා ඇති මූල්‍ය බුද්ධි ඒකක මෙ වැනි අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි. මේ අනුව, මෙම අවබෝධතා ගිවිසුම් හරහා මූල්‍ය බුද්ධි ඒකක අතර මනා සහයෝ්ගීතාවක් ඇති කර ගනු ලබයි. ඊට අමතර ව රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා දීම ද මෙ මගින් සිදු වේ. මේවා හඳුන්වා දී ඇත්තේ ලොව පුරා පැතිර ඇති මූල්‍ය බුද්ධි ඒකකයන්ගේ එකමුතුවෙන් සැදුම් ලත් එග්මොන්ට් කණ්ඩායම විසිනි.

මෙම අවබෝධතා ගිවිසුම් දෙක අත්සන් කිරීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව 35ක් වේ.

 

 

Published Date: 

Friday, August 4, 2017