කොළඹ දී පවත්වන ලද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක නියෝජිතයන් 408ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් 24කගේ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 15 සිට 21 දක්වා කොළඹ දී පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන් සහභාගී විය. 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සහ වංචා හා දූෂණ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් වැරැදි ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාතික වශයෙන් කැප වී ක්‍රියා කරන බවට අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමන් මෙහි දී අවධාරණය කරන ලදි. තව ද, මේ සඳහා කැප වී වැඩ කරන දේශීය මෙන් ම විදේශීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාව ද අතිගරු ජනාධිපතිිතුමන් විසින් මෙහි දී අවධාරණය කෙරිණි. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම 1997 වසරේ දී තායිලන්තයේ බැංකොක්හි දී රටවල් 13ක මූලිකත්වයෙන් ආරම්භ කරන විට එම ආරම්භක සාමාජිකයන් අතර ශ්‍රී ලංකාව ද විය. මූල්‍ය කාර්ය සාධක බලකායට සමගාමී ව පිහිටුවා ඇති විශාලතම කලාපීය සංවිධානය ලෙස මෙම කණ්ඩායම සිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමට අදාළ මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40 ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ ව නිරීක්ෂණය කරනු ලබයි. 

මෙ වර පවත්වන ලද වාර්ෂික සමුළුවේ දී රටවල් 31ක මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධ ඇගයීම් වාර්තා සහ පසු විපරම් වාර්තා සාකච්ඡාවට ලක් කරන ලද අතර එම රටවල හඳුනා ගත් දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාකාරී සැලසුම්වලට අනුමැතිය ලබා දීම ද සිදු විය. තව ද, සාමාජික රටවල් අතර බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ද මෙහි දී සිදු වූ අතර ශ්‍රී ලංකාව ද භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකක සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට එළඹෙන ලදි. 

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පවත්වා ගත යුතු ආයතනිකමය තත්ත්වයන්, නීතිය බලාත්මක කිරීමේ දී සහ නඩු පැවරීම්වල දී මතු වන ගැටළු සහ අපරාධ ක්‍රියා තුළින් උපයාගන්නා ලද මුදල් හා වත්කම් අත්හිටුවීම හා රාජසන්තක කිරීමට අදාළ ව ජාත්‍යන්තර වශයෙන් අන්‍යොන්‍ය නීතිමය සහාය ලබා ගැනීම ආදිය සඳහා රටවල් අතර එකඟතාවන් ඇති කර ගැනීම ආදිය පිළිබඳ ව මෙම සමුළුවේ දී සාකච්ඡා කරන ලදි. තව ද, මෙම සමුළුව හරහා සාමාජික රටවලට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට හැකියාව ලැබුණු අතර මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ මෑත කාලීන නැඹුරුවීම් සහ ඒ සමඟ බැඳී ඇති අවදානම් තත්ත්වයන්ට සහ උපාය මාර්ගයන්ට අදාළ පර්යේෂණවල ප්‍රතිළුල පිළිබඳ ව සාමාජික රටවල් දැනුම්වත් කිරීමට ද හැකි විය. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විධායක කමිටු රැස්වීම ඇතුළු ව උතුරු ආසියාව, ගිණිකොණදිග ආසියාව, ශාන්තිකර කලාපය, දකුණු ආසියාව වැනි උප කලාපීය කණ්ඩායම් මෙන් ම කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ එකතුවෙන් සැදුම් ලත් උප කලාපීය කණ්ඩායමට අදාළ රැස්වීම් ද මෙම සතිය තුළ පැවැත්වුණි. වාර්ෂික සමුළුවේ පෙර සැසිවාරයන් 2017 ජූලි 15 - 16 දෙ දින තුළ දී පවත්වන ලදි. මූල්‍ය කාර්ය සාධක බලකාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා වන යුරෝ-ආසියානු කණ්ඩායම ආදිය නියෝජනය කරමින් පැමිණි අන්තර්ජාතික නිරීක්ෂකයන් වාර්ෂික සමුළුවේ මූලික පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වන අදාළ සැසිවාරයන්ට ඉතා ක්‍රියාකාරී අන්දමින් සහභාගී වු හ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව 2017 ජූලි 21 වැනි දින ඉතා සාර්ථක අයුරින් නිමා විය.

 

Published Date: 

Tuesday, August 1, 2017