භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වැනි දින සිට මෙම නව ක්‍රමය බල පැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් වර්ධනය කිරීමයි. 

නව ක්‍රමය, වඩා ව්‍යුහගත ක්‍රමයක් වන අතර ඊට ක්‍රමවත් ලෙස සැලසුම් කළ බැඳුම්කර නිකුතූන් ඇතුළත් වේ. සෑම මාසික නිකුතුවක දී ම විවිධ කල්පිරීම් කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ දෙකක් ඉදිරිපත් කෙරෙන අතර එම කාණ්ඩවල පරිණතීන් වෙළෙඳපොළ තුළ පවතින සම්පත් හා ගැලපීම අපේක්ෂා කෙරේ. 

එක් එක් පූර්ව අදියරේ ප්‍රතිඵලය මත රඳා පවතින එක් එක් කාණ්ඩය යටතේ වන නිකුත් කිරීම් අනුක්‍රමික අදියරයන් තුනක් හෝ ඊට අඩු අදියර ගණනක් තුළ ක්‍රියාත්මක වේ. පළමු වැනි අදියරය මගින් සාධාරණ වෙළෙඳපොළ මිල ගණන් ඔස්සේ තරගකාරී බහුවිධ මිල වෙන්දේසි ක්‍රමයක් තුළ නිවේදනය කරන ලද සම්පූර්ණ වටිනාකම නිකුත් කිරීමට උත්සාහ කරනු ලබයි. කෙ‍ සේ වුව ද, පළමු අදියරේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට තීරණය වුව හොත් දෙවන අදියර වටිනාකම මත පදනම් වූ ස්වේච්ඡා මිල කැඳවීම් සඳහා විවෘත කරනු ලබයි. දෙවන අදියර යටතේ නිකුත් කිරීම් පළමු අදියරේ දී තීරණය කරන ලද බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයට (Weighted Average Yield Rate) සිදු කරන අතර පළමු අදියරේ දී පිළි ගත් ලංසු ප්‍රමාණය සහ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන් අතර වෙනසට සීමා වේ. දෙවන අදියරට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් ලැබුණු විට දෙවන අදියරේ නිකුත් කිරීම පළමු අදියරේ වෙන්දේසි සහභාගීකරුවන්ගේ කාර්යසාධනයට සමානුපාතික වේ. සෑම ප්‍රාථමික අලෙවිකරුවෙක් මෙන් ම ප්‍රාථමික නිකුත් කිරීම් සඳහා බලයලත් අනෙකුත් සහභාගීකරුවන් දෙවන අදියර යටතේ ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබයි. 

පළමුවන සහ දෙවන අදියර යටතේ අපේක්ෂිත මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් එක් රැස් කර ඇති අවස්ථාවල දී එම හිඟය තුන්වන අදියරේ දී අනිවාර්ය පදනමක් මත බර තබන ලද සාමානය ඵලදා අනුපාතිකයට ප්‍රාථමික අලෙවිකරුවන් අතර පමණක් නිකුත් කෙරේ. කෙ සේ වුව ද, පළමු අදියරේ දී ඉදිරිපත් කරන ලද මුදලින් අවම වශයෙන් සියයට 60ක් පිළිගත් අවස්ථාවන් සඳහා පමණක් තෙවන අදියරය ක්‍රියාත්මක කිරීම සීමා වනු ඇත. තුන්වන  අදියරේ දී ප්‍රාථමික අලෙවිකරුවන්ට නිකුත් කිරීම පළමු සහ දෙවන අදියරයන්හි සාර්ථකත්වයේ අනුපාතයට ප්‍රතිලෝම ව සමානුපාතික වේ. 

මීට අමතර ව, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ඵලදායී සහභාගීත්වය තක්සේරු කිරීම සඳහා නව කාර්යසාධන සමාලෝචන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ. 

මේ අතර. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සහ අයෝජකයින්ගේ ආයෝජන සැලසුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්තුමය වශයෙන් වූ භාණ්ඩාගාර බැඳුම්කර දින දර්ශනය ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ කල් තියා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලැබේ. 

 

Published Date: 

Tuesday, July 25, 2017