කොළඹ දී පවත්වන ලද ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටුවේ රැස්වීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2017 ජූලි මස 12 සහ 13 යන දිනයන්හි දී පැවැත් වූ අතර එහි සත්කාරක කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී. 

ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකත්වය මහ බැංකු / මූල්‍ය අධිකාරීන් 9කින් සමන්විත වේ. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකයින් වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම රටවල මහ බැංකු අධිපතිවරුන් / මූල්‍ය අධිකාරින්හි ප්‍රධානීන්ගෙන් සමන්විත වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩලයට වග කියනු ලබන මහ ලේකම්වරයෙකු යටතේ සිදු කරනු ලබන අතර එහි ලේකම් කාර්යාලය ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇත. 

1974 දී ආසියානු නිෂ්කාශන සංගමය පිහිටුවීමේ දින සිට එහි ප්‍රධාන පරමාර්ථ වනුයේ සාමාජික රටවල් අතර වෙළෙඳාම හා ඊට අදාළ ගනුදෙනු බහුපාර්ශ්වීය පදනම මත ශුද්ධ පියවීම් ලෙස එක්සත් ජනපද ඩොලර්වලින් මාස දෙකක කාලයක් තුළ පියවීමට පහසුකම් සැලසීමයි. තව ද, මූල්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම, සාමාජික රටවල බැංකු පද්ධති අතර සමීප සම්බන්ධතා දියුණු කිරීම සහ එ මගින් සාමාජික රටවල් අතර වෙළෙඳාම් හා ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහාත් ආසියානු නිෂ්කාශන සංගමය උපකාරී වේ. 

ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ මුලසුන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් හොබවන ලද අතර 2017 ජූලි මස 12 වැනි දින පැවැත්වූ ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටු රැස්වීමේ මුලසුන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී සමරසිරි මහතා විසින් හොබවන ලදී. 

සාමාජික රටවල් අතර ආර්ථික කටයුතු සහ වෙළෙඳ කටයුතු තවදුරටත් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන ලද අතර මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන ආරම්භක පියවරයන් ගන්නා ලදි. 

  • දැනට පියවීම් සඳහා යොදා ගන්නා මුදල් ඒකක විවිධාංගීකරණය කිරීම සඳහා ආසියානු නිෂ්කාශන සංගම් යාන්ත්‍රණය තුළ යුරෝ නැවත යොදා ගැනීම සහ ජපන් යෙන් අලුතින් එකතු කර ගැනීම
  • ආසියානු නිෂ්කාශන සංගම් යාන්ත්‍රණය තුළ විද්‍යුත් ගෙවීම් දිරිමත් කිරීම සඳහා ආසියානු නිෂ්කාශන සංගම් කාඩ්පත් යාන්ත්‍රණය දියත් කිරීම
  • ආසියානු නිෂ්කාශන සංගම් යාන්ත්‍රණය තුළ දැනට පවත්නා ශුද්ධ ගෙවීම් සඳහා පියවීම් මාධ්‍යයක් ලෙස සාමාජික රටවල දේශීය මුදල් ඒකකයන් ඇතුළත් කර ගැනීම
  • ආසියානු නිෂ්කාශන සංගම් ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා අන්තර්ජාලය මත පදනම් වූ පණිවිඩ හුවමාරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
  • ඉරානය වෙත පනව‍ා ඇති සම්බාධක ඉවත් කිරීමෙන් පසු ව ආසියානු නිෂ්කාශන සංගම් යාන්ත්‍රණය යටතේ ඉරානය සමඟ ගනුදෙනු නැවත ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීම
  • කලාපය තුළ ඉහළ ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ASEAN) අයත් රටවල් ආසියානු නිෂ්කාශන සංගම් ක්‍රමවේදය තුළට ඇතුළත් කර ගැනීම දිරිමත් කිරීම

ඊට අමතර ව, 2016 වසරේ දී මියන්මාරයේ දී පවත්වන ලද 45 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ගත් පරිදි ගෙවීම් සහ පියවීම් පද්ධතිවල සයිබර් ආරක්ෂණයේ වැදගත්කම මෙම රැස්වීමේ දී සාකච්ඡා කරන ලදි.

සාමාජික රටවල ආර්ථික හා මූල්‍යමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආසියානු නිෂ්කාශන සංගමයේ මෙහෙයුම් සමාලෝචනය සහ යෝජනා සම්මත කර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වාර්ෂික ව රැස් වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ 47 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම නේපාලයේ දී පැවැත්වීමට නියමිත ය. 

 

 

Published Date: 

Friday, July 14, 2017