කොළඹ දී පවත්වන ලද දකුණු අාසියාතික සංගමයේ (සාර්ක්) මූල්‍ය ජාලයේ කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය

සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව 2017 ජූලි මස 12 වැනි දින කොළඹ දී පවත්වන ලදි. සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සඳහා සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු සහ සාර්ක් කලාපීය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. 

සාර්ක් මූල්‍ය ජාලයේ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරු ව 'ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයෙහි සාර්ක් කලාපය මුහුණ දෙන අභියෝග සහ එම අවදානම් අවම කර ගැනීම සඳහා යෝග්‍ය ප්‍රතිපත්ති නිර්දේශ' යන තේමාව යටතේ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සමිමන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදී. සාර්ක් කලාපයේ සෑම රටක් විසින් ම ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, එ මගින් ගෝලීය අවිනිශ්චිතතාවන් තම ආර්ථිකයන් මත ඇති කරන බලපෑම් සහ එම අවදානම් පාලනය සඳහා ගත හැකි ප්‍රතිිපත්තිමය ක්‍රියාමාර්ග අවධානයට ලක් කරන ලදි. 'සාර්ක් කලාපය තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය' පිළිබඳ වන ඒකාබද්ධ පර්යේෂණ අධ්‍යයනයට අදාළ මූලික සොයා ගැනීම් ද සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කරන ලදි. 

2002 වසරේ ජූනි මාසයේ කත්මණ්ඩු නුවර පැවැති 22 වැනි අමාත්‍ය මණ්ඩල සැසියේ දී අනුමත වූ පරිදි සාර්ක් මූල්‍ය ජාලය සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරුන්ගෙන් සහ සාමාජික රටවල මුදල් ලේකම්වරුන්ගෙන් සමන්විත වන ස්ථාවර ආයතනයකි. දකුණු ආසියානු කලාපීය රටවල මහ බැංකු අතර හා මුදල් අමාත්‍යවරුන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සාර්ක් මූල්‍ය ජාලයේ ප්‍රධාන අරමුණයි. සාර්ක් මූල්‍ය ජාලයේ රැස්වීම් අවම වශයෙන් වසර දෙකකට වරක් පැවැත්වේ. සාර්ක් මූල්‍ය ජාලය, සාර්ක් රටවල මුදල් අමාත්‍යවරුන් හරහා සාර්ක් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ලබයි. 

Published Date: 

Thursday, July 13, 2017