ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 අප්‍රේල්

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 අප්‍රේල් මාසයේ දී 41.8ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 24.7කින් සෘතුමය සාධක හේතුවෙන් පහළ යන ලදී. ඒ අනුුව,  අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල යම් පහත වැටීමක් පෙන්නුම් කරයි. නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක, මාර්තු මාසයේ දී වාර්තා කළ සැලකිය යුතු වර්ධනයට සාපේක්ෂ ව මෙම මාසය තුළ දී පහත වැටීම මේ සඳහා විශාල වශයෙන් දායක විය. එ සේ ම, අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ දී වැඩි නිවාඩු දින ගණනක් පැවැතීම ද නිෂ්පාදන කටයුතු පහත වැටීම කෙරෙහි හේතු වූ බව සමීක්ෂණයට තොරතුරු සපයන්නන් විසින් සඳහන් කරන ලදී. තව ද, සියළු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය හැර අනෙකුත් සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා අඩු අගයක් වාර්තා කරන ලදී. කෙ‍ සේ වුව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 මාර්තු මාසයේ දී වාර්තා වූ 60.8ක දර්ශක අගයට සාපේක්ෂ ව අප්‍රේල් මාසයේ දී 54.2ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම පහළ යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ අප්‍රේල් මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් මාර්තු මාසයට සාපේක්ෂ ව සැලකිය යුතු අඩු වේගයකින් වර්ධනය වූ බවයි. සේවා අංශයෙහි අඩු වේගයකින් සිදු වූ වර්ධනයට නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් හා අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් හේතු විය. නිම කිරීමට ඇති කාර්යයන් සහ  සේවා නියුක්තිය මාර්තු මාසයට සාපේක්ෂ ව අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. සමීක්ෂණය ආරම්භ කළ 2015 මැයි මස සිට සේවා නියුක්ති උප දර්ශකය 50 සීමාවෙන් පහළ අගයක් ගත් ප්‍රථම අවස්ථාව මෙය වූ අතර නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන අය කරන මිල ගණන් උප දර්ශකය 2017 අප්‍රේල් මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. තව ද, ශ්‍රම පිරිවැය පිළිබඳ අපේක්ෂා මඟින් මනිනු ලබන ඉදිරි ශ්‍රම පිරිවැය 2017 අප්‍රේල් මාසයේ දී තවදුරටත් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 16, 2017