ශ්‍රී ලංකා මහ බැංකුව කඳුරට ජනතාව හමුවෙයි

පාසල් සිසු සිසුවියන් ඇතුළු කඳුරට ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා ගැනීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන විවෘත දින වැඩසටහන, 'මහ බැංකුව ඔබ හමුවට...' නමින් 2017 මැයි 5 සහ 6 දිනවල දී මාතලේ ත්‍රිකුණාමල පාරේ මන්දණ්ඩාවල පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්වේ. 

පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පලුදු වූ සහ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම, කාසි හා නෝට්ටු හුවමාරුව, මුදල් කෞතුකාගාරය යනාදී සේවාවන් සපයා ඇත. ඊට අමතර ව මහ බැංකු අධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමු වී සාකච්ඡා කිරීමට ද ඉඩ ප්‍රස්ථා සලසා ඇත. 

වර්තමාන මූල්‍ය පරිසරය පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණ හා වැඩමුළු කිහිපයක් ද එහි දී පැවැත්වේ. මුදල් සුරක්ෂිත ලෙස අයෝජනය කරන්නේ කෙසේ ද, ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නේ කෙසේ ද, විදේශ විනිමය ගනුදෙනු, මූල්‍ය සාක්ෂරතාව සහ ණය තොරතුරු කාර්යාංශයේ සේවාවන් පිළිබඳ ව එම සම්මන්ත්‍රණ හා වැඩමුළුවල දී පැහැදිලි කෙරෙනු ඇත. ඊට අමතර ව ණය උපදේශන සේවාවක් ද පැවැත්වේ. සිය අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු කිහිපයක් ද මෙම අවස්ථාවට සහභාගී වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන 25%ක වට්ටමක් යටතේ මිල දී ගැනීමට ද මෙහි දී අවස්ථාව සලසා ඇත. 

මහ බංකු සේවාවන් සැපයීමට අමතර ව වෙළෙඳ කුටි සහ තවත් විශේෂාංග රැසකින් සමන්විත මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කඳුරට ජනතාවගෙන් ඉල්ලා සිටී.

Published Date: 

Thursday, May 4, 2017