ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිකිරීම් – 2023 නොවැම්බර්

ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය නොවැම්බර් මාසයේදී 44.3ක අගයක් වාර්තා කරන ලදී. නව ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ දැනට ක්‍රියාත්මක  ව්‍යාපෘතිවලට අදාළ කටයුතු අවසන් අදියරේ පැවතීම සමස්ත ක්‍රියාකාරකම් අඩු වීමට හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

පෙර මාසයට සාපේකෂව නොවැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා කරන ලදී. කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් භාගය වන විට, විශේෂයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත නව ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් ප්‍රදානය කෙරෙනු ඇතැයි සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා අපේක්ෂා කරති. වත්මන් වාතාවරණය තුළ අවම සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට සමාගම් කටයුතු කරන බැවින් සේවා නියුක්තිය අඛණ්ඩව පහත වැටුණි. තවද, ඉදිකිරීම් කටයුතුවල පහත වැටීමත් සමඟ, තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Friday, December 29, 2023