කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

අඛණ්ඩව පස්වන වරටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.2ට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේ දී සියයට 3.6ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.9හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. 2023 නොවැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 1.06ක් ලෙස වාර්තා විය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙලින් සියයට 0.12කින් සහ සියයට 0.95කින් ඉහළ යෑම හේතු විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.2හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමෙහි ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, අපේක්ෂිත බදු වැඩිවීම් සහ ඒවායේ වක්‍ර බලපෑම්, සහ පරිපාලනමය වශයෙන් තීරණය වන මිල ගණන්වල ඇති විය හැකි ඉහළ යාම් සමඟ, උද්ධමනය තාවකාලිකව ඉහළ යෑමක් කෙටි කාලීනව සිදුවිය හැකිය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 30, 2023