2017 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.2 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 8.6 දක්වා ඉහළ ගියේ ය. 2017 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 මාර්තු මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑමට පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ පැවැති අඩු පදනම් අගය හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේය.

මාසික වෙනස් වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 පෙබරවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 119.9 සිට 2017 මාර්තු මාසයේ දී දර්ශක අංක 119.5 දක්වා පහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ සහල්, දෙහි, කෙසෙල්, අර්තාපල්, අමු මිරිස් සහ මයිසූර් පරිප්පු මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර, පොල්, එළවළු, පළතුරු වර්ග, පොල්තෙල් සහ සීනි මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි ඇතුළත් අයිතමවල මිල ගණන් ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයෙහි ඇතුළත් ඇතැම් අයිතමවල මිල ගණන් 2017 මාර්තු මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; සෞඛ්‍ය; ප්‍රවාහන; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 7.1 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.4 සිට 2017 මාර්තු මාසයේ දී සියයට 6.6 දක්වා ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, April 21, 2017