ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 මාර්තු

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 මාර්තු මාසයේ දී 66.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 9.4කින් ඉහළ යන ලදී. මෙම ඉහළ යෑම තුළින් මාර්තු මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනය පිළිබිඹු වන අතර මේ සඳහා අලුත් අවුරුදු උත්සව සමයෙහි ඇති වන ඉල්ලුමෙහි වර්ධනය සහ ඊට අනුරූප නිෂ්පාදන කටයුතුවල ඉහළ යෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වර්ධනය විය. මේ අතර, පසුගිය මාසය තුළ ඇති වූ භාණ්ඩ තොග ලැබීමේ වූ ප්‍රමාදය යථා තත්ත්වයට පත් වීම සහ භාණ්ඩ තොග රැස් කර ගැනීම හේතුවෙන් ගැනුම් තොග උප දර්ශකය ඉහළ යන ලදී. කෙ සේ වුව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය පහත වැටුණි. මේ සඳහා චීනයේ නව අවුරුදු උත්සව සමය අවසන් වීමත් සමඟ සැපයුම් සාමාන්‍ය පරිදි ලැබීම විශේෂයෙන් ම හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් පහත වැටුණි. මෙහි දී සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන්හි වර්ධනයෙහි මන්දගාමීත්වයක් පෙන්නුම් කරන ලදී. 

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 57.3ක දර්ශක අගයක සිට මාර්තු මාසයේ දී 60.8ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම ඉහළ යෑමෙන් 2017 මාර්තු මාසයේ දී සේවා අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් වර්ධනයන් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ වර්ධනයට ආධාර විය. 2017 පෙබරවාරි මාසය හා සැසඳීමේ දී මාර්තු මාසයේ දී සේවා නියුක්ති සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ අතර නිම කිරීමට ඇති කාර්යයන් අඩු වේගයකින් පහත වැටුණි. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2017 මාර්තු මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් ඉහළ යන ලදී. තව ද, ශ්‍රම පිරිවැය පිළිබඳ අපේක්ෂා මඟින් මනිනු ලබන ඉදිරි ශ්‍රම පිරිවැය 2017 මාර්තු මාසයේ දී ඉහළ යන ලදී. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, April 12, 2017