ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 ජනවාරි

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2023 ජනවාරි මාසයේදී, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණු අතර,  නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් තවදුරටත් දක්නට ලැබුණි.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරයි. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී දර්ශකාංක 4.0කින් පහළ යමින් 40.8ක අගයක් වාර්තා කළ අතර, මේ කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන පහත වැටීම කෙරෙහි ප්‍රධාන වශයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ  දක්නට ලැබුණු ඉල්ලුම අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. දෙසැම්බර් උත්සව සමයෙන් පසුව සාමාන්‍ය පරිදී සිදුවන ඉල්ලුමෙහි පහත වැටීමට අමතරව, ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම හේතුවෙන් ඉල්ලුමේ සැලකියයුතු අඩුවීමක් දක්නට ලැබුණු බව ආහාර හා පාන වර්ග නිෂ්පාදනයේ යෙදෙන බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කර ලදී. ප්‍රධාන අපනයන ගමනාන්තයන්හි දක්නට ලැබුන ආර්ථික මන්දගාමීත්වය හේතුවෙන් විදේශීය ඉල්ලුම පහත වැටුණු බව බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදකයින් වැනි අපනයනාභිමුඛ නිෂ්පාදකයින් නිරීක්ෂණය කළ අතර එය ඔවුන්ගේ කර්මාන්තශාලා පුර්ණ ධාරිතාවයට වඩා සැලකිය යුතු අඩු ධාරිතාවයකින් යුක්තව පවත්වාගෙන යෑමට හේතු විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු පහත වැටීමට සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිල දී ගැනුම් ද පහත වැටුණි. අමුද්‍රව්‍ය තොග ඉහල යාම නිසා තවදුරටත් තොග මිලදී ගැනීම් අඩුකළ බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී. මේ අතර, පසුගිය මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය වැඩි විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, February 15, 2023