මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 2

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ තාවකාලික ඇස්මේතන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ පැවැති සියයට 4.8ක මූර්ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසර තුළ දී සියයට 4.4කින් වර්ධනය විය. මෙම වාර්ෂික වර්ධනය තුළ ඉදිකිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.7කින් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, මූල්‍ය සේවා, රක්ෂණ සහ විදුලි සංදේශ සේවා පුළුල් වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2කින් වර්ධනය විය. කෙ සේ වෙතත්, 2016 වසරේ දෙවන කාර්තුවේ දී ඇති වූ ජල ගැලීම් සහ අවසාන කාර්තුවේ දී පැවැති නියඟ තත්ත්වය තුළින් ඇති වූ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් 2016 වසරේ දී කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2කින් පහළ ගියේ ය. අහිතකර කාලගුණ තත්ත්වය සහ ගෝලීය ප්‍රවණතා වැනි බාහිර අභියෝග මධ්‍යයෙහි 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ඊට පෙර වසරෙහි පැවැති අඩු වර්ධනයෙහි පදනම් බලපෑම ද සහිත ව වුව ආර්ථිකය සියයට 5.3ක වර්ධනයක් වාර්තා කරමින් 2016 වසර අවසානය වන විට ඉහළ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. 

මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 ජනවාරි මාසයේ දී වාර්තා කරන ලද සියයට 5.5 සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 6.8ක් දක්වා ඉහළ ගියේ ය. එම ප්‍රවණතාව ම පෙන්නුම් කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) මත පදනම් මතුපිට උද්ධමනය ද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2017 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට 6.5 සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 8.2ක් දක්වා ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී ද සියයට 7.1ක් ලෙස ඉහළ අගයක පැවතුණි. උද්ධමනයේ මෑත කාලීන ව සිදු වූ ඉහළ යෑම සඳහා පවත්නා නියඟ තත්ත්වය සහ බදු ව්‍යුහයේ සිදු කරන ලද සංශෝධන හේතු වූ අතර අහිතකර උද්ධමන අපේක්ෂා හේතුවෙන් ඉහළ යෑමක් සිදු නො වුව හොත් ඉදිරි කාලයේ දී උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා අඩු වී ඉන් පසු ව ස්ථායී වනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර ක්‍රියාවට නංවන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම හේතුවෙන් ඉහළ නැංවුණු පොලී අනුපාතික පෞද්ගලික අංශයේ ණය වර්ධනය මත යම් ප්‍රමාණයකට බලපෑම් කොට ඇති බව පෙනී යයි. ඒ අනුව, පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයේ පැවැති සියයට 21.9 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 20.9 දක්වා තව දුරටත් පහත වැටුණි. රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2017 ජනවාරි මාසයේ දී සියයට 17.7 ක ඉහළ අගයක් වාර්තා කළ ද එය 2016 දෙසැම්බර් මස පැවැති සියයට 18.4ක වර්ධනය හා සාපේක්ෂ ව අඩු වර්ධනයකි. කෙ සේ වෙතත්, මුදල් හා ණය සමස්තවල පහළ යෑම අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමී විය. 

විදේශ අංශය සැලකූ විට, වසර තුළ දී ආනයන වියදම සියයට 2.5කින් ඉහළ යෑමත් අපනයන ආදායම සියයට 2.2කින් අඩු වීමත් හේතුවෙන් ගෙවුම් ශේෂයේ වෙළෙඳ ගිණුමේ හිඟය 2015 වසරේ පැවැති එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4  හා සැසඳීමේ දී 2016 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක් ලෙස වාර්තා විය. තාවකාලික දත්ත අනුව, 2017 ජනවාරි මාසයේ දී ද වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීමක් පෙන්නුම් කෙරේ. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, වෙළෙඳ ගිණුමේ හිඟය මඟින් ගෙවුම් ශේෂය මත ඇති කළ අහිතකර බලපෑම තවදුරටත් සමනය කිරීමට සමත් විය. මේ අතර, 2017 වසර ආරම්භයේ දී දක්නට ලැබුණු රාජ්‍ය සුරැකුම්‍පත් වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජන පිටතට ගලා යෑමේ කිසියම් අඩු වීමක් දක්නට ලැබුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හමුවේ වුව ද, විදේශ ආයෝජන ලැබීම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. දළ නිල සංචිත 2016 වසර අවසානයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂ ව 2017 පෙබරවාරි මස අවස‍ානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2017 වසරේ මාර්තු මස 22 වැනි දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව රුපියල සියයට 1.2කින් අවප්‍රමාණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ණය සහ මුදල් සමස්ත ඉහළ අනුපාතයකින් වර්ධනය වීම හේතුවෙන් ඇති විය හැකි ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන ඉහළ යෑම සහ අහිතකර උද්ධමන අපේක්ෂා මැඩ පැවැත්වීම සඳහා පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම අවශ්‍ය බව 2017 මාර්තු 23 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. එ මෙන් ම, සමස්ත අයවැය හිඟය අපේක්ෂිත මට්ටම දක්වා පහළ යෑමට තුඩු දෙන පරිදි රාජ්‍ය මූල්‍ය කටයුතුවල සිදු වී ඇති සැලකිය යුතු වර්ධනය පිළිබඳ ව ද මුදල් මණ්ඩලයේ අවධානය යොමු විය. මෙම ප්‍රවණතා මෙන් ම, වෙළෙඳපොළ පොලී අනුපාතිකවල දක්නට ලැබෙන සැලකිය යුතු ඉහළ යෑම හේතුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල සිදු කළ යුතු ගැළපීමේ ප්‍රමාණය අඩු බව මුදල් මණ්ඩලයේ අදහස විය. එ් අනුව, 2017 මාර්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 25 බැගින්, ‍පිළිවෙළින් සියයට 7.25 සහ සියයට 8.75 දක්වා ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Friday, March 24, 2017