ජා.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 70.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 65.0 දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 80.9හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 61.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 60.4 දක්වා පහළ ගියේය. 

2022 ඔක්තෝබර් මාසයේ දී නිරීක්ෂණය වූ ජා.පා.මි. දර්ශකයේ මාසික වෙනසෙහි පහළ යෑම, 2022 නොවැම්බර් මාසයේ දී ද දක්නට ලැබුණු අතර, එය සියයට 0.27ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.49කින් පහළ යෑමයි. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, සීනි, සහල්, කරවල, සහ කුකුල් මස් මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි. එසේ වුවද, 2022 නොවැම්බර් මාසයේ දී මාසික වෙනස සඳහා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය සියයට 0.23ක් වූ අතර, මේ සඳහා රෙදිපිළි හා පාවහන්, සෞඛ්‍ය (පෞද්ගලික රෝහල්/සාත්තු නිවාස ගාස්තු), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තුව සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. කෙසේ වුවද, 2022 නොවැම්බර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල්) සහ නිවාස, විදුලිය, ජලය, ගෑස් හා වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය) උප කාණ්ඩවල මිල ගණන් පහළ ගියේය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, December 21, 2022